ජනාධිපති ලේකම් හා කථානායක බැඳුම්කර වාර්තාවේ C-350 ලේඛනය නොසඟවා හෙළි කළ යුතුයි

  👤  1440 readers have read this article !
Published by : MB WEB 2018-06-05 10:01:18

හර්ෂනී අර්සකුලරත්න


අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනා පිළිබඳ තොරතුරු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ C-350 ලේඛනයේ සඳහන්ව ඇතැයි පවසද්දීත් එම ලේඛන ඉදිරිපත් නොකොට යට ගසා සඟවා ගෙන නොසිට රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසයි.


ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනකු පිළිබඳව තමාටත් පෙර රටට හෙළි කළේ "කැෆේ" සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් බවත් ජ.වි.පෙ. වසන්ත සමරසිංහ එවැනි 166 දෙනකු පිළිබඳ සඳහන් කළ බවත් මන්ත්‍රිවරයා සිහිපත් කළේය.


ඇලෝසියස්ගෙන් මුදල් ගත් අයගේ ලේඛනය C-350 නමින් පෙන්වා දී තිබියදීත් එය හෙළි නොකොට ඇලෝසියස්ගෙන් මුදල් ගත් ලැයිස්තුවක් නැතැයි පවසමින් කථානායකවරයා සහ ජනාධිපති ලේකම්වරයා සිදුකරන ප්‍රකාශ අනුමත කළ නොහැකි බව ජයසේකර මන්ත්‍රිවරයා "මව්බිම"ට පැවැසීය.


මේ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව කළ යුතුව ඇත්තේ තමාගේ නම පමණක් එළියට ගෙන ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් 118 දෙනාගේ නම් වසර 30කට සඟවා ගැනීම නොව, පවතින ගැටලුකාරී වාතාවරණය සලකා බලමින් නීති ප්‍රතිපාදන අනුව හෝ මේ කරුණ නොසඟවා හෙළි කිරීම යැයිද මන්ත්‍රිවරයා පැවැසුවේය.


සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ තමාට තොරතුරු ලබා දුන්නා යැයි රන්ජන් රාමනායක ඇමැතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බවත් එසේ තොරතුරු සැපැයීම පිළිබඳව වෙනමම පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවත් මන්ත්‍රිවරයා පැවැසුවේය.


මේ සියල්ලටම පෙර සිදු විය යුත්තේ මේ සම්බන්ධ සියලු කටයුතුවලින් සොලිසිටර් ජනරාල්වරයා ඉවත් කිරීම යැයි ද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසුවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon