‘මකරන්ද’ පස්විධ ගැයුම් අසිරිය නෙලුම් පොකුණට

  👤  3275 readers have read this article !
Published by : MB WEB 2018-06-01 09:30:35

තිළිණි කෞශල්‍යා විජේසිංහ

සංගීතයට ඇලුම් කරන රසවතුන්ට අපූරු අත්දැකීමක් අත ළඟය. ඒ මකරන්ද (පස්විධ ගැයුම් අසිරිය) ප්‍රසංගය ඔබේ රසවින්දනය උදෙසා කරළියට එන දවස එන්න එන්නම ළං වන නිසාය. ඒ දවස ජුනි 09 වැනිදාය. මේ ලක ලැහැස්ති වන්නේ අපූර්ව ප්‍රසංගයකටය. නෙලුම් පොකුණ රඟහල ජුනි 9 වැනිදා ප.ව. 7 සිට පස්විධ ගැයුම් අසිරියක වේදිකාවකි.
මෙම ප්‍රසංගයේ ගී ගයන්නේ ගායන ක්ෂේත්‍රයේ සුවිශේෂී හඬ පෞරුෂයන් හිමි ශිල්පීන් පස් දෙනෙකි. ඒ නිශ්ශංක දිද්දෙණිය. රොඩ්නි වර්ණකුල, ඉන්දිකා උපමාලි, සමන් ලෙනින් සහ නිලක්ෂි හැලපිටියයි.

නිර්මාණකරණයෙහි සුවිශේෂී හැඩතල මතු කළ මේ ගායන පෞරුෂයන්ගේ නිර්මාණද සුවිශේෂීය. වේදිකාව, සිනමාව, පුංචි තිරය තුළ ගායනය මුදාහළ මේ ගායන ශිල්පීන්ගේ, මකරන්ද පස්විධ ගැයුම් අසිරිය ප්‍රසංගයේ උත්සාහය වන්නේ රසවින්දනයේ සුබවාදී දැක්මකට තව තවත් ‍ෙදාරගුළු හරින්නටය.

"සරල, සරල ශාස්ත්‍රීය, ජන හා නාට්‍ය ගීත ශෛලීන් මකරන්ද පස්විධ ගැයුම් අසිරි වේදිකාවේ රැව්පිළිරැව් නඟන්නට, රස විහිදන්නට සූදානම්ය. පැරැණි නූර්ති, නාඩගම් සේම මානව වංශ සංගීත ක්ෂේත්‍රගත ගීත එදා සහ අද රසික ප්‍රජාව ඇදබැඳගත් ජනප්‍රිය ගීත මකරන්ද වේදිකාවෙන් රසික ජනතාවට බෙදා හරින්නට සූදානම්ය.

මකරන්ද පස්විධ ගැයුම් අසිරිය හැඩ කරන මේ සියලු හඬ රසිකයන්ට නුහුරු නුපුරුදු නොවන්නේය. මේ සියලු හඬ රස දෝරේ ගලන හඬය. ඔවුන්ගේ හඬ රැව් පිළිරැව් නඟද්දී මේ ප්‍රසංගය සංගීතයෙන් හැඩ කරන්නේ ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේය. මේ රස මංගල්‍යයේ හැඩය ගැන පස්විධ ගැයුම් අසිරි පාන ශිල්පීන්ට කියන්නට බොහෝ දේ තිබිණි. මේ ඔවුන්ට වෙන්වූ ඉඩයි.

සමන් ලෙනින්

පංච මකරන්ද ප්‍රසංගයට සහභාගි වෙන්න ලැබීම ගායකයෙක් ලෙස මම ලබපු වරප්‍රසාදයක්. මේ ප්‍රසංගයට එකතු වී ඉන්න ගායක ගායිකාවන් පස් දෙනාම වේදිකාවේ හිටපු වේදිකාවත් සමඟ බැඳුණු ශිල්පීන්. මටත් වේදිකාවේ හුරුවක් තිබෙනවා. සාමාන්‍ය ගීත ප්‍රසංගයකට වඩා එහා ගිය යමක් මේ ප්‍රසංගයෙන් දෙන්න අපි ඒකමතිකව තීරණය කර තිබෙනවා.

මගේ ආර ජන සංගීතය. අපේ ජන ගායනා පරාසයන් මොන වගේද කියලා පෙන්වන්න මම උත්සාහ කරනවා. ඒ වගේම මේ ප්‍රසංගය දරුවන්ට දැනුමක් වගේම උසස් රසවින්දනයක් ලබා ගතහැකි ප්‍රසංගයක්. නිශ්ශංක දිද්දෙණිය මහත්තයා වගේම අනෙක් සියලුදෙනාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබපු සංගීතයේ දැනුම් සම්භාරයක් එකතු කරගත් අය. මමත් නවරත්න ගමගේ මහතාගේ සංගීතයට ගයන්න ගීත කීපයක් තෝරාගෙන තිබෙනවා. ඉන්දිකා උපමාලි සහ මම අළු බඳුන ටෙලි නාට්‍යයේ ගායන කළ "විශ්වය විනිවිද" කියන තේමා ගීතය ප්‍රසංගයකදී මුල් වතාවට ගායනා කරනවා. මම මගේ රසිකයන්ට ජන කවි මිහිරක් ලබාදෙන්න මේ ප්‍රසංගයෙන් උත්සාහ කරනවා.

 ඉන්දිකා උපමාලි

'මකරන්ද' පස්විධ ගැයුම් අසිරියට තෝරාගෙන තියෙන්නේ වෙනස් වෙනස් හඬ තියෙන ශිල්පීන් පස්දෙනෙක්. ඔවුන් තම තමන්ට වූ වෙනම අනන්‍යතාවක් ගොඩනඟාගෙන තිබෙනවා. නිශ්ශංක දිද්දෙණිය අයියා කියන්නේ නූර්ති, නාඩගම්වලට ඉතා හොඳ පිරිපුන් කටහඬක් තිබෙන කෙනෙක්. රොඩ්නි අයියා, චරිත මත ගොඩනඟාගත් ගීත ප්‍රේක්ෂකාගාරය ග්‍රහණය කරගෙන ගායනා කරන කෙනෙක්. ඔහුට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා.

සමන් ලෙනින් කියන්නේ ජන හඬක් තියෙන සම්මානනීය ගායකයෙක්. නිලක්ෂිටත් සුවිශේෂී ජන හඬක් තිබෙනවා. අපි පස්දෙනා එකම වේදිකාවක ගී ගයන පළමු අවස්ථාව නිසා මෙය මට වගේම රසිකයන්ටත් වෙනස් සහ අලුත් අත්දැකීමක් වෙයි.

මම මේ ප්‍රසංගයේ ගායනා කරන්න තෝරගත්තේ බටහිර ශෛලියේ සරල ගීත. එදාට මගේ අලුත්ම ගීත කිහිපයක්ම මගේ රසිකයන්ට අහන්න පුළුවන්. මම නිරන්තරව අභ්‍යාස කරන කෙනෙක්. මට ලැබිච්ච මේ අවස්ථාවේදී රසිකයන්ට හොඳ රසයක් ලබා දෙමින් තව තවත් රසිකයන් අතරට යන්න මම උත්සාහ කරනවා. අපේ මේ ප්‍රසංගය සාර්ථක වෙයි කියන විශ්වාසයක් මට තියෙනවා.

 

නිලක්ෂි හැලපිටිය

පංච මකරන්දයේ එක පුරුකක් වෙන්න මට අවස්ථාව ලැබීම ලොකු වාසනාවක්. විවිධ කටහඬ තියෙන විවිධ පරාසයන්හි ගීත ගායනා කරන්න හැකියාව තියෙන ශිල්පීන් පස් දෙනෙක් තමයි මේ ප්‍රසංගයට සම්බන්ධ වෙන්නේ. මම වේදිකාවේ සුප්පාදේවියගේ චරිතය දීර්ඝ කාලයක් කළා. ගායනය සමඟ රංගනයේ යෙදෙන්න ඉන් හැකියාව ලැබුණා.

වේදිකාවෙන් පන්නරය ලබපු පිරිසක් මේ ප්‍රසංගයේ ඉන්න නිසා වෙනත් ප්‍රසංගවලට වඩා ප්‍රාසාංගික බවෙන් ඉහළ අගයක් මෙහි තියේවි.

මම මෙතෙක් ගයපු ගීත අතරින් නාට්‍ය ගීත, බටහිර හැඩයට හුරු ගීත වගේ එක් එක් ශෛලියේ ගීත ප්‍රසංගයේදී ගායනා කරනවා. ඒ වගේම නිශ්ශංක දිද්දෙණිය මහතා සහ සමන් ලෙනින් එක්ක යුග ගී ගායනයන් ඉදිරිපත් කරන්නත් මම සූදානමින් ඉන්නවා. මෙය ප්‍රේක්ෂකයන්ට විශේෂ අත්දැකීමක් වෙයි.

 

රොඩ්නි වර්ණකුල

මකරන්ද පස්විධ ගැයුම් අසිරිය ප්‍රසංගයට වේදිකාව එක්ක ගනුදෙනු කරන සුවිශේෂ හඬ පෞරුෂයක් හිමි පස්දෙනෙක් දායක කරගෙන තිබෙනවා. නිශ්ශංක දිද්දෙණිය, මම, ඉන්දිකා උපමාලි, සමන් ලෙනින්, නිලක්ෂි හැලපිටිය සම්බන්ධ වන මේ ප්‍රසංගය අපේ රසිකයන්ට අපූර්ව අත්දැකීමක් වේවි. මට මේ සිව්දෙනා සමඟ එකම වේදිකාවක ගී ගයන්න ලැබුණු පළමු අවස්ථාව මෙය. එය ඉතා හොඳ අවස්ථාවක්. මමත් නාට්‍ය ගීත, සරල ගීතවලින් මේ ප්‍රසංගය රසවිඳින්න එන පිරිස රසගන්වන්න සූදානමින් ඉන්නවා. සංගීතයේ හොඳ ඉවුරක ඉන්න පිරිසක් එකතුවෙලා කරන මේ වැඩේ වෙනස් ආරක අත්දැකීමක් වෙනවා වගේම අද ඇවිත් හෙට නැති වෙන ගීත කලාවට මේ ප්‍රසංගයෙන් හොඳ පිළිතුරක් දෙන්න වගේම හොඳ දේවල් ඉල්ලන මිනිස්සුන්ට හොඳ යමක් දෙන්න අපි උත්සාහ කරනවා.

 

නිශ්ශංක දිද්දෙණිය

මකරන්ද කියන්නේ ශෛලීන් හතරක ගීත ප්‍රසංගයක්. ලංකාවේ සුභාවිත ගීත නිර්මාණයට වෙහෙසුණු තුන් දෙනෙක් ඉන්නවා. ඒ තමයි ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත සහ පණ්ඩිත් අමරදේව. ඉන්පස්සේ සුභාවිත සංගීතය යම් වර්ධනීය තත්ත්වයකට ආවා.

දැන් වෙනකොට ජනප්‍රිය රැල්ලේ ගීත ප්‍රවාහයක් බිහිවෙලා තිබෙනවා. මේ ප්‍රසංගයෙන් ජනප්‍රිය ගීත රැල්ලත්, ප්‍රබුද්ධ ගීතත් එකට යා කර රසික සමාජයට තිළිණ කරන්න උත්සාහ ගන්නවා. පාසල් ශිෂ්‍ය ප්‍රජාවට, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට පාරම්පරික කලාවන් ගැන දැනුම අඩුයි. ඔවුන්ගේ රසඥතා මට්ටම වර්ධනය කරන්න තමයි අපි මේ ප්‍රසංගය සංවිධානය කළේ. නෙලුම් පොකුණ රඟහලේ ප්‍රසංගයක් කරන එක පහසු නැහැ. අනුග්‍රාහක භවතුන්ගේ උදවු ඇතිව වුණත් බොහොම දුෂ්කරව තමයි අපි මේ වගේ කටයුත්තක් කරන්නේ. අපි මේ ප්‍රසංගය මෙතැනින් නවත්වන්නේ නෑ. දැනටමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු විද්‍යාර්ථීන්ගේ සංගමය, මේ ප්‍රසංගය මහනුවර පවත්වන්න සූදානම් කර තිබෙනවා. මෙය අපේ රසිකයන්ට අපූර්ව අත්දැකීමක් වේවි. මේ ලබාදෙන රසය රසික ජනතාවට වැදගත් වේවි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon