ජයලත් මනෝරත්න කාන්තාවක් වූ අරුමය

  👤  6617 readers have read this article !
Published by : MB WEB 2018-05-31 09:30:53

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - තිළිණ බුද්ධික

ඔබ කාන්තාවක් වෙලා. මොකක්ද මේ වෙනස?

මම රඟපාන අලුත්ම චිත්‍රපටය වෙනුවෙන් තමයි ඒ වෙනස්වීම කළේ. එහි මම කාන්තා චරිත නිරූපණයක් කරනවා. මේ වෙලාවෙත් මල්ලි කෙනෙක් මගේ නියපොතුවල කි්‍යුටෙක්ස් ගානවා.

ඔබ කාන්තා චරිතයක් නිරූපණය කරන පළමු අවස්ථාව මෙය නේද..?

ඔව්, මගේ රඟපෑම් ජීවිතයේ පළමු වතාවට තමයි මම කාන්තා චරිතයක් නිරූපණය කරන්නේ. ටෙලි නාට්‍යයක හෝ වේදිකා නාට්‍යයක හෝ චිත්‍රපටයක මම මීට කලින් මේ වගේ චරිතයක් කළේ නෑ. මෙහි මතුපිටින් බැලුවොත් පේන්නේ නළුවෙක් නිළි භූමිකාවක් රඟපාන එක. ලෝක සිනමාවෙත් නළුවෝ කාන්තා චරිත රඟපාලා තියෙනවා. ඉතිං මටත් සුසිලින් ද සිල්වා කියන අධ්‍යක්ෂවරයාගේ "මං මිස් ජෙනිස්" කියන චිත්‍රපටයේ මේ කාන්තා චරිතය නිරූපණය කරන්න ලැබුණා.

මේ චරිතයට ඔබට ආරාධනා කළේ කවුද..?

චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු ඩොනල්ඩ් ජයන්ත, මේ චිත්‍රපටයේ කැමරාකරණය කරන අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සහ අධ්‍යක්ෂණය කරන සුසිලින් ද සිල්වා තමයි මේ චරිතයට මාව තෝර ගන්න කියලා යෝජනා කරලා තියෙන්නේ.

අධ්‍යක්ෂවරයාගේ පළමු චිත්‍රපටය මෙය වෙද්දි මේ වගේ කාන්තා චරිතයක් භාර ගැනීම ගැන ඔබ දෙපාරක් හිතුවේ නැද්ද..?

ලක්ෂ්මන් හෙට්ටිආරච්චි සහ සුසිලින් ද සිල්වා මට කතා කරද්දී මම එකපාරටම මේ චරිතය කරන්න කැමැති වුණේ නැහැ. මොකද මේ වැඩේ සරල නැහැ. ටිකක් සංකීර්ණයිනේ. මේ වැඩේ මොන වගේ දෙයක්ද කියලා මම දෙතුන් වතාවක් සාකච්ඡා කළා. පිටපත කියවලත් සාකච්ඡා කළා.

මේ වගේ චරිතයක් කිරීම ලෙහෙසි පහසු වූවක්ද..?

මේක කරන එක ලෙහෙසි පහසු නැහැ. කෙනකුට ඒත්තු ගන්වන්න ඕන ඒ ඉන්නේ කාන්තාවක් කියලා. ඒ ඉන්නේ පිරිමියෙක් කියලා ප්‍රේක්ෂකයෝ දැන ගත්තත් අදාළ චරිත ඒ ඉන්නේ පිරිමියෙක් කියලා දන්නේ නැහැ. එතැනදි අපිට වේෂ නිරූපණය ගොඩක් වැදගත් වුණා. ඇඳුම් පැලඳුම්, කොණ්ඩා මෝස්තරත් ඒකට වැදගත් වුණා.

කාන්තා චරිතයක් නිරූපණය කිරීමේ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ කොහොමද..?

අපි දීර්ඝ කාලයක් තිස්සේ කරන්නේ පිරිමි චරිතනේ. ඔවුන්ගේ ගති සිරිත් අපි දන්නවා.
නමුත් කාන්තා චරිතය ඊට වෙනස්. බටහිර චිත්‍රපටයක ගත්තොත් බටහිර නළුවෝ කාන්තාවකගේ චරිතය නිරූපණය කරද්දී විශාල වෙනස්කමක් ඇති කරගන්නේ නෑ. ඔවුන්ගේ සංස්කෘතිය ඇතුළේ පිරිමියාගේ සහ ගැහැනියගේ ගති ලක්ෂණ සමාන වන අවස්ථා තියෙනවා. නමුත් පෙරදිග රටවල කාන්තාව කියන්නේ බොහොම සුකුමාල කෙනෙක්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා ඒ සුකුමාල ගති ලක්ෂණත් අනුකරණය කරන්න. බොහොම පරිස්සමට සියුම් විදියට මේ චරිතය ගොඩනඟන්න තමයි මම උත්සාහ කරන්නේ. කාන්තාවගේ මතුපිට චරිතය වගේම ඇයගේ ඇතුළාන්තය බොහෝම අවබෝධයෙන් කරන්න ඕන.

ඔබව කාන්තාවක් කරපු අය කවුද කියලත් කියමු..?

වේෂ නිරූපණයට ප්‍රකට ශිල්පීන් තමයි මාව කාන්තාවක ලෙස හැඬ ගැන්වූයේ. නලින් ප්‍රේමතිලක, හරුන් ෂයිඩීන්,
චාම් පෙරේරා කියන අය තමයි මේ හැඩ ගැන්වීම කරන්නේ.

ඔබව කාන්තා ස්වරූපයකට හැඩ ගන්වන්න කොයි තරම් වෙලාවක් ගත වෙනවාද..?

මුල් දවසේ නම් මාව කාන්තාවක් ලෙස හැඩ ගන්වන්න පැය තුනක් විතර ගියා. දැන් නම් පැය දෙකහමාරකින් විතර මාව හැඩ ගන්වනවා. උදේ 4.30ට තමයි මාව හැඬ ගන්වන්න පටන් ගන්නේ. උදේ 7.00 වෙද්දි මාව සරසවලා ඉවරයි. ඊට පස්සේ මම ඉන්නේ කාන්තාවකගේ පෙනුමෙන්. දකින කෙනෙක්ටත් මාව හඳුනාගන්න අමාරුයි.

කොච්චර කාලයක් මේ කාන්තා ස්වරූපයෙන් ඔබට ඉන්න වෙනවද..?

දවස් අටක් විතර හපුතලේ ෂූටිං කළා. මේ දවස්වල කොළඹ ෂූටිං කරන්නේ. තව සතියක් වගේ කාලයක් මට මේ චරිතයේ ඉන්න වෙයි.

මේ වගේ චරිත තෝරාගන්න සමහරු මැළිවෙනවා. මේ වගේ චරිතයක් කිරීමෙන් තමන්ගේ චරිතයට යම්කිසි බලපෑමක් වෙයි කියලා හිතුණෙම නැද්ද..?

නළුවකුට නිළියකට තිබෙන රාජකාරිය තමයි යම් යම් චරිත ස්වාභාවයන් අනුකරණය කිරීම. සතුන්, වස්තූන්, ද්‍රව්‍ය වගේ දේවලුත් බොහෝ විට අනුකරණය කරනවා. ඒ වගේ කාන්තාව කියන්නෙත් එක්තරා ලක්ෂණයක්. එය අනුකරණය කරද්දී අපි එය කතාවට උචිත ලෙස ගොඩනංවා ගන්නවා. ඒක පහසු නැහැ. මමත් කළේ රාජකාරියක්. යම්කිසි චරිත නිරූපණයක්. එයින් මගේ චරිතයට හානියක් වෙයි කියලා මට හිතෙන්නේ නැහැ.

ලංකාවේ ශිල්පීන්ට තිබෙන ප්‍රශ්නයක් තමයි යම් චරිතයක් කළාම එවැනි චරිතවලටම නිරන්තරයෙන් ආරාධනා ලැබෙනවා. ඔබටත් මෙවැනි චරිතවලට තව තවත් ආරාධනා ලැබුණොත්..?

ඒ වගේ චරිත ලැබුණත් අපි ඒවාට අහුවෙන්න ඕන නැහැ. මේ වගේ එකක් කළාම හොඳටම ඇති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon