‘යශෝධරා’හි රඟන ‘රාහුල’ හදගැස්මට කතා කරයි

  👤  3920 readers have read this article !
Published by : MB WEB 2018-05-30 14:00:28

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූපය - අශාන් ගමගේ

කොහොමද නෙත්සුක?

හොඳින් ඉන්නවා

දැන් නෙත්සුක නළුවෙක් වෙලා?

ඔව්. සුනිල් ආරියරත්න සර්ගේ "යශෝධරා" චිත්‍රපටයට මම සම්බන්ධ වුණා.

"යශෝධරා" චිත්‍රපටය නෙත්සුක සම්බන්ධ වුණ පළමුවැනි නිර්මාණය නේද?

ඔව්. මම ට්‍රේලර්ස්වලට ඒ වගේම වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ඒත් මට මුලින්ම රඟපාන්න හම්බවුණේ යශෝධරා චිත්‍රපටයේ.

මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න නෙත්සුකට අවස්ථාව ලැබුණේ කොහොමද?

සිරස නාළිකාවේ මහේෂ් මාමා මාව සිරසේ ට්‍රේලර්ස්වලට සම්බන්ධ කරගත්තා. යශෝධරා චිත්‍රපටයේ "රාහුල" කුමාරයාට කෙනෙක් හොයනවා කියලා මහේෂ් මාමා තමයි සුනිල් සර්ට අපිව සම්බන්ධ කළේ. ඊට පස්සේ සම්මුඛ පරීක්‍ෂණයට ගියා.

විශාල පිරිසක් අතරින් නේද නෙත්සුකට මේ අවස්ථාව ලැබුණේ?

ඔව්. රාහුල චරිතයට ගොඩක් අය ඉන්ටවිව් කළා කියලා කිව්වා. මට හාමුදුරු නමක් වගේ ඇවිදලා පෙන්නන්න කිව්වා. දෙබස් කියන්න කිව්වා. මම ඒවා කළා. ඊට පස්සේ ඒ චරිතයට මාව තෝරාගත්තා කියලා සුනිල් සර් අපිට කිව්වා.

නෙත්සුක රංගනයට ලොකු කැමැත්තකින්ද හිටියේ?

මම රඟපාන්න ආසයි. ඒත් මේ තරම් හොඳට රඟපාන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නෑ. මට අහම්බෙන් තමයි මාධ්‍ය වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න වගේම රාහුල කුමාරයාගේ චරිතයට සම්බන්ධ වෙන්න ලැබුණෙත්.

නෙත්සුක චිත්‍රපටය වෙනුවෙන් තට්ටේ ගෑවනේ. කොණ්ඩේ කපද්දී මොකද හිතුණේ?

තට්ටේ ගාද්දී ටිකක් රිදුණා. හැබැයි ගොඩක් අය කිව්වා ඒ පෙනුම මට ලස්සනයි කියලා.

මුලින්ම රඟපාද්දී බයක් දැනුණේ නැද්ද?

පොඩි බයක් දැනුණා. ඒත් රඟපාද්දී ඒක හරි ගියා. සුනිල් සර්, දේශප්‍රිය අංකල්, ශෂි ඇන්ටි වගේ හැමෝම මට ආදරයෙන් ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ නිසා බය නැති වුණා.

නෙත්සුකගේ රංගන කටයුතුවලට පාසලෙන් මොන වගේ සහයක්ද ලැබුණේ?

මම ඉගෙන ගන්නේ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ 5 ශේ්‍රණියේ. මාව රාහුල කුමාරයාගේ චරිතයට තෝර ගත්තා කියලා දැන ගත්තම අම්මයි තාත්තයි පාසලේ ශාන් දසනායක ෆාදර්ට ගිහින් කිව්වා. සුනිල් සර්ගේ චිත්‍රපටයක් කිව්වම, බුද්ධාගමේ දෙයක් නිසා සුනිල් සර් හොඳ දේවල් කරන නිසා මාව ඒකට යවන්න කිව්වා. මට පාසලෙන් ලොකු සහායක් දුන්නා.

රංගන කටයුතු නිසා අධ්‍යාපන කටයුතු මඟහැරුණේ නැද්ද?

ෂූටිං තිබ්බෙ දුර පළාත්වල නිසා මට දවස් විස්සක් විතර පාසල් යන්න බැරි වුණා. මගේ යාළුවෝ හැමෝම මට මඟහැරුණු පාඩම් සම්පූර්ණ කර ගන්න උදවු කළා. මම අධ්‍යාපන කටයුතුත් මඟහැර ගත්තේ නෑ. මම 4 වසරේ විභාගයෙනුත් පන්තියේ දෙවැනියා වුණා.

චිත්‍රපටයේදි නෙත්සුකගේ ළඟින් වැඩිපුරම හිටියේ කවුද?

පල්ලවි සුභාෂ් ඇන්ටි එක්ක තමයි මට වැඩිපුරම රඟපාන්න ලැබුණේ.


ඇයත් නෙත්සුකට උදවු කරන්න ඇති?

ඔව්. පල්ලවි ඇන්ටි හරිම හොඳයි. මට හරිම ආදරෙයි. මට රඟපාන්න ඕන කොහොමද කියලා ළඟට අරගෙන කියලා දුන්නා. "පුතා" කියලා තමයි මාව දැක්කාමත් කතා කරන්නේ.

"පල්ලවි සුභාෂ්" ඔබට නැවත මුණගැහුණද?

ඔව්. චිත්‍රපටයේ මංගල දර්ශනයට පල්ලවි ආන්ටි ආවා. මම හොඳට රඟපාලා තියෙනවා කිව්වා. ගොඩක් දරුවෝ දැකලා තියෙනවා, ලංකාවේ ඔයා මගේ ආදරය ගත්තා කියලා ආන්ටි මට කිව්වා.

තව කවුද නෙත්සුකට වැඩිපුරම ආදරේ?

චෞද්රි අන්කල් මට හරිම ආදරෙයි. ෆේස්බුක් එකෙන් එයාට කතා කරන්න මට ලැබෙනවා.

නෙත්සුකගේ රංගනය ගැන අම්මයි තාත්තයි සතුටුද?

ඔව්. මම රඟපාද්දී අම්මයි සීයායි මාත් එක්ක ආවා. ඒත් මම අම්මට කිව්වා රඟපාද්දි ටිකක් එහායින් ඉන්න කියලා. අම්මයි තාත්තයි චිත්‍රපටය දකිද්දී ගොඩක් සතුටු වුණා. මම රඟපාලා තියෙන විධිය දැක්කම අම්මටයි තාත්තටයි ගොඩක් සතුටුයි.

නෙත්සුකගේ රංගනය ගැන යාළුවෝ මොකද කිව්වේ?

එයාලට හරිම සතුටුයි. යශෝධරා චිත්‍රපටයේ "රාහුල" කුමාරයා එයාලගේ යාළුවෙක් කියලා එයාලා හැමෝටම කියනවා. මම ලස්සනට රඟපාලා කියලත් කියනවා.

නෙත්සුක දිගටම රංගන කටයුතුවලට සම්බන්ධ වෙනවාද?

මම පාසලේ වැඩ මඟහැර ගන්නේ නෑ. අම්මයි තාත්තයි මට කිව්වා හො¼ද නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ කරනවා කියලා. මම කරපු රාහුල කුමාරයාගේ චරිතය විශේෂ නිසා ඒ චරිතයට හානියක් නොවෙන නිර්මාණවලට මාව සම්බන්ධ කරනවා කිව්වා.

නෙත්සුකට ස්තූති කරන්නත් පිරිසක් ඇති?

මහේෂ් මාමාට, සුනිල් ආරියරත්න සර් වගේම චිත්‍රපටයේ සියලුම මාමලා නැන්දලාට මම ස්තූති කරනවා. මට ඒ අය ගොඩක් උදවු කළා. මගේ අම්මාට, අප්පච්චිට, සීයා තාත්තට, අම්මා අම්මට, මගේ යාඵවන්ට මගේ පාසලේ සියලුම දෙනාටත් මම ස්තූති කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon