පැරිසියේදී තට්ටු 4ක් නැඟ දරුවකු බේරාගත් 'Spider Man'

  👤  1725 readers have read this article !
Published by : MB WEB 2018-05-29 12:12:54

සහබද්ධ මහල් නිවාස සහිත ගොඩනැඟිල්ලක හතර වැනි මහලේ බැල්කනියේ එල්ලී බිමට වැටීමේ අවදානමක සිටි දරුවකු බේරාගැනීම සඳහා හීයක වේගයෙන් ගොඩනැඟිල්ලට පිටතින් ඉහළට නැඟී එම දරුවා බේරාගත් මාලේ තරුණයකු වෙත ප්‍රංශ වැසියන්ගේ ප්‍රශංසා පළවෙමින් පවතී.

මාලේ රටෙන් පැරිසියට පැමිණි මෙම 22 හැවිරිදි මමොව්දෞව් ගස්සමා (Mamoudou Gassama) තත්පර කිහිපයකින් දරුවා එල්ලී සිටි සිවුවැනි මහල දක්වා නැඟුණු ආකාරය දුටුවන් විස්තර කරන්නේ ඔහුව ස්පයිඩර් මෑන් (Spider Man) ලෙස හඳුන්වා දෙමිනි.

දරුවා බේරා ගැනීම සඳහා පැරිසියේ හදිසි සේවාවන් එහි ළඟා වන විටත් ගස්සමා තරුණයා විසින් දරුවා ආරක්ෂිතව බේරාගෙන තිබිණි.

මෙම තරුණයා කළ වීර ක්‍රියාවට පැසසුම් කළ සහ ඔහුට සුබ පැතූවන් අතරට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ද එක්වී සිටියේය. ජනාධිපතිවරයා පෞද්ගලිකව ස්තුති කිරීම සඳහා ගස්සමාට ප්‍රංශ ජනාධිපති නිල නිවෙස වන එලිසි මන්දිරය වෙත පැමිණෙන්නැයි ආරාධනා කර ඇත.

තමා දරුවන්ට කැමැති බවත් ඇස් ඉදිරියේ දරුවාට විපතක් වෙනු දක්නට අකැමැති හෙයින් තමා ඉහළට නැඟ දරුවා බේරාගත් බවත් CNN අනුබද්ධ රූපවාහිනි සේවයකට ගස්සමා ප්‍රකාශ කර ඇත.

ප්‍රංශයේදී යහපත් ජීවිතයක් ගොඩනඟා ගැනීමේ අරමුණ ඇතිව මීට මාස කිහිපයකට පෙර පැරිසියට පැමිණ ඇති මෙම තරුණයාගේ වීර ක්‍රියාව පැරිස් නගර වැසියන්ට ආදර්ශයක් බවත් ප්‍රංශයේ ජීවත් වීමේ ප්‍රයත්නයට උදවු ලැබෙනු ඇති බවත් ප්‍රංශ පුරපතිනිය කියා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon