ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා පිල කොදෙව් දේශය බලා අද පිටත් වෙයි

  👤  731 readers have read this article !
Published by : MB WEB 2018-05-25 14:19:27

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (25දා) රාත්‍රියේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්වීමට නියමිතය.

2008 වසරේ මාර්තු මාසයෙන් පසු ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් දූපත්හි සංචාරය කර නොමැති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙතෙක් කොදෙව් දේශයේදී ටෙස්ට් තරගාවලියක ජයක් ලබා නොමැතිවීමද විශේෂත්වයකි.

මෙයට පෙර එනම් 1997, 2003 හා 2008 වසරවලදී ශ්‍රී ලංකා කණ්ඩායමක් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලි සඳහා කොදෙව් දේශයේ සංචාරය කළද 2008 වසරේදී ලැබූ ටෙස්ට් තරග ජය ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් දේශයේ ලැබූ එකම ටෙස්ට් තරග ජය බවටද පත්විය. ඒ අනුව එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයගත්තද දෙවැනි තරගය කොදෙව්වන් ජයගැනීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට කොදෙව් දේශයේදී ලැබීමට තිබූ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගොස් තිබිණි.

මේ අතර වසර 10කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දේශය බලා යන්නේ විශාල බලාපොරොත්තුවකින් බව ඇන්ජිලෝ මැතිව්ස් පවසා තිබීම තුළ මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දේශය බලා යන්නේ වෙනස් යමක් කිරීමට බව පැහැදිලිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට ටෙස්ට් තරග 17ක් පවත්වා ඇතත්, ඉන් තරග 8කම ජය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට වීමද කැපී පෙනේ.

දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජුනි 6 වැනිදාත්, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙළින් ජුනි 14දා හා 23දාත් ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම - දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ළහිරු ගමගේ, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, ඇන්ජිලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, කසුන් රාජිත, රොෂේන් සිල්වා, මහේල උඩවත්ත, ජෙෆ්රි වැන්ඩර්සේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon