ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන සැසිවාරයට සහභාගිවීම සදහා සුව ඇමැති ජිනීවා නුවරට

  👤  2061 readers have read this article !
Published by : MB WEB 2018-05-21 10:40:59

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරය  අද (21) සිට (26) දින දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වෙයි.

එම වාර්ෂික සැසිවාරය නියෝජනය කිරිම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (19) දිවයිනෙන් පිටත්ව ගියහ.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr Tedros Adhanom Ghebreyesusමහතාගේ ප්‍රධානත්වයෙන් සැසිවාරය පැවැත්වෙයි. සාමාජික රටවල් 194 ක සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය බලධාරීන් රැසක් සැසිවාරයට එක්වීමට නියමිතය. වසර 2023 වන විට ජිවිත මිලියන 29 ක් රැක ගැනීමේ අරමුණ ඇතිව මෙවර සැසිවාරය පැවැත්වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්ති, ඉදිරි වැඩසටහන්, මූල්‍ය පහසුකම්, රෝග නිවාරණය පිළිබදව අවධානය යොමු කිරිමට නියමිතව ඇත.
 
සැසිවාරයෙන් පසු 143 වන විධායක මණ්ඩල රැස්වීම ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාව ද විධායක මණ්ඩල සාමාජිකයෙකි. ලබන 28 සහ 29 යන දෙදින එම විධායක මණ්ඩල රැස්වීම පැවැත්වෙයි. තාක්ෂණිකව සුදුසුකම් ලත් සාමාජිකයින්ගෙන් විධායක මණ්ඩලය සමන්විත වෙයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සංවත්සරය මෙවර අප්‍රේල් 08 දා ශ්‍රී ලංකාවේ දී පැවැත්විනි. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr Tedros Adhanom Ghebreyesusමහතා ප්‍රකාශ කළේ ලෝකයේ හොදම සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බවයි. ජිනීවා නුවර පැවැත්වෙන 71 වන වාර්ෂික සැසිවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව යන මැයෙන් විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය. මෙම සංචාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විදේශීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරු රැසක් හමුවීමට ද නියමිතව ඇත. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon