21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන මාසයේ ඇරැඹෙයි

  👤  1224 readers have read this article !
Published by : MB WEB 2018-05-16 14:05:20

ලොව පුරා විහිදී සිටින පාපන්දු ලෝලීන්ගේ දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය බඳු ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ජුනි 14 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා රුසියාවේ ක්‍රීඩාංගණ 12කදී පැවැත්වීමට නියමිත අතර කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් තරග වැදීමට නියමිතය.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ 21 වැනි තරගාවලිය ලෙස පැවැත්වෙන මෙවර තරගාවලිය සදහා 2014 වසරේදී ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ රටවල් 20ක් වරම් හිමිකරගෙන තිබීමද විශේෂත්වයකි. ලෝක කුසලාන තරගාවලි 18කට ක්‍රීඩා කර සිවු වරක් ලෝක ශූරයන් වූ ඉතාලියට වසර 60කට පසුව මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වීම පාපන්දු ලෝකය තුළ කාගේත් අවධානයට යොමු විය.

කෙසේ වෙතත් මෙම තරගාවලි ඉතිහාසයේ බ්‍රසීලය 5 වරක් ලෝක කුසලානය දිනාගෙන වැඩි ගෞරව හිමිකරගෙන ඇති අතර ජර්මනිය හා ඉතාලිය සිවු වරක් ලෝක ශූරයන් වී ඇත. අවසන් වරට 2014 වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ජර්මනිය හමුවේ ආජන්ටිනාව ගෝල 1-0ක් ලෙස පරාජයට පත්ව තිබිණි.

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ලෙස ජුනි 14 වැනිදා මොස්කව් නුවර ලුස්නිකි ක්‍රීඩාංගණයේදී සත්කාරක රුසියාව හා සෞදි අරාබිය තරග වැදීමට නියමිතය. මූලික වටයේ තරග ජුනි 28 වැනිදා දක්වා පැවැත්වෙන අතර අවසන් වටයේ තරග ජුනි 30 වනදා ආරම්භ වේ. අවසන් මහා තරගය ජූලි 15 වනදා සමාරම්භක තරගය පැවැත්වූ ලුස්නිකි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

රටවල් 32 කාණ්ඩ ගත කර ඇත්තේ මෙසේය.

'ඒ' කාණ්ඩය _ රුසියාව, සෞදි අරාබිය, ඊජිප්තුව, උරුගුවේ 'බී' කාණ්ඩය-පෘතුගාලය, ස්පාඥ්ඥය, මොරොක්කෝව, ඉරානය 'සී' කාණ්ඩය- ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, පේරු, ඩෙන්මාර්කය 'ඩී' කාණ්ඩය _ආජන්ටිනාව, අයිස්ලන්තය, කොරෝශියාව, නයිජීරියාව 'ඊ' කාණ්ඩය- බ්‍රසීලය, ස්විට්සර්ලන්තය, කෝස්ට් රිකා, සර්බියාව 'එෆ්' කාණ්ඩය _ජර්මනිය, මෙක්සිකෝ, ස්වීඩනය, කොරියාව 'ජී' කාණ්ඩය- බෙල්ජියමය, පැනමා, ටියුනීසියාව, එංගලන්තය 'එච්' කාණ්ඩය- පෝලන්තය, සෙනෙගල්, කොලොම්බියාව, ජපානය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon