එක් දින වරම් ලබා වසර 10කට පසුව මහේල ටෙස්ට් ක්‍රිකට් සංචිතයට

  👤  1792 readers have read this article !
Published by : MB WEB 2018-05-14 16:33:58

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් හිදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ටෙස්ට් ක්‍රිකට් කෝඩුකාර ක්‍රීඩකයන් 4ක් ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. ඒ අනුව මැයි 26 වනදා සිට ජුනි 28දා දක්වා පැවැත්වෙන මෙම තරග සංචාරයේදී මහේල උඩවත්ත, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ හා අසිත ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ට මෙලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබීමේ අවස්ථාව සැලසී ඇත.

කෙසේ වෙතත් ක්‍රීඩකයන් 17ත් දෙනකුගෙන් සමන්විත මෙම සංචිතයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවැරී ඇත. තවද මහේල උඩවත්ත හට එක්දින වරම් හිමි වී වසර 10කට පසු ටෙස්ට් වරම් හිමිවීම මෙන්ම ඔහුගේ පළමු එක්දින ක්‍රිකට් තරගයද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ක්‍රීඩාකර තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද අන්තර් පළාත් සිවුදින සුපිරි ක්‍රිකට් තරගාවලියේදී හා අන්තර් පළාත් සීමිත පන්දුවාර තරගාවලියේදී මහේල උඩවත්ත දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් ඔහුව සංචිතයට ඇතුළත් කර ඇත.

කෙසේ නමුත් ආබාධයන්ට ලක්ව සිටි ඇන්ජෙලෝ මැතිව්ස් හා සුරංග ලක්මාල් මෙම සංචිතයට නම් කර ඇතත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයන්ට ලක්කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සහභාගීත්වය තීරණය කරනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කරන ලද නිල නිවේදනයක සඳහන්ය. දිමුත් කරුණාරත්න, දුෂ්මන්ත චමීර හා නුවන් ප්‍රදීප් ආබාධයන්ට ලක්ව සිටින සෙසු ක්‍රීඩකයන් වන අතර සංචිතයට ඇතුළත් නොවූ ධනුෂ්ක ගුණතිලකගේ ස්ථානය කුසල් ජනිත් පෙරේරාට හිමි වීමද කැපී පෙණේ. කුසල් ජනිත් පෙරේරාද අවසන් වරට ටෙස්ට් තරගයකට සහභාගි වී ඇත්තේ 2016 දෙසැම්බර් මාසයේදීය.

තවද උපුල් තරංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොතිබීමද කැපී පෙනේ. ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හිදී ටෙස්ට් තරගාවලියක් මෙතෙක් ජයගෙන නොමැති අතර 2008 වසරේ අප්‍රේල් මස අවසන් වරට කොදෙව් හිදී ටෙස්ට් තරගයකට සහභාගි වී ඇත.

මැයි 30 වැනිදා පැවැත්වීමට නියමිත තෙදින පුහුණු තරගයෙන් ආරම්භ වන මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජුනි 6 වැනිදා ටි්‍රනිඩෑඩ් ක්වීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේදීද, දෙවැනි ටෙස්ට් තරගය ජුනි 14 වැනිදා සා.ලුසියා ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදීද ආරම්භ වන අතර තෙවැනි ටෙස්ට් තරගය ජුනි 23 වැනිදා බාබඩොස් කිංස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon