අධ්‍යක්‍ෂණයට එන්න කැමැතියි

  👤  1289 readers have read this article !
Published by : MB WEB 2018-05-10 16:28:07

• පසුගිය දවස්වල ගොඩක් කාර්ය බහුල වෙලා හිටියා කියලා ආරංචියි?

පසුගිය දවස්වල නම් අවුරුදු කුමර කුමරියන් තෝරන්න විනිසුරු මඩුල්ලේ පෙනී සිටියා. ඒ වගේම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයටත් සහභාගි වෙනවා.

• අලුත් නාට්‍යයකටත් සහභාගි වෙනවා කියලා ආරංචියි?

ඔව්. රිදී මලක් ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒක අලුතින් එන නාට්‍යයක්. මම ඒකේ සේනක එහෙමත් නැතිනම් මල්ලුවා කියන චරිතය තමයි රඟපාන්නේ. ටිකක් දඩබ්බර චරිතයක්.

• සැබෑ ජීවිතයෙත් ඔබ එවැනි චරිතයක්ද?

අනේ නැහැ. මම පොළොවේ පය ගහලා ජීවත් වන චරිතයක්. ඒක මම විතරක් කියන දෙයක් නෙමෙයි. අනික චරිතයකින් කලාකරුවෙක්ව මනින්න බැහැ.

• චිත්‍රපටවලට ලැබෙන ආරාධනා කොහොමද?

"රජ දහන" කියලා චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ඉන්නවා. ඒත් තවම ප්‍රධාන චරිතයක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ.

• රංගනයට ඇවිත් ලොකු කාලයක් වෙනවා නේද?

දැන් අවුරුදු 19ක් විතර වෙනවා. 1990දී තමයි මම මුලින්ම ටෙලි නාට්‍යයකට සහභාගි වුණේ. සුනිල් සිරිවර්ධන මහත්මයගේ නාට්‍යයක් ඒක. ඒක කරද්දී මම පොඩියි. දැනට මම ටෙලි නාට්‍ය අසූ පහකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. චිත්‍රපට තිස්පහක විතර රඟපෑවා.

• ඔබට විවිධ චරිතවලින් ප්‍රේක්‍ෂකයන් අතරට එන්න අවස්ථාව ලැබිලා තිබෙනවා නේද?

ඔව්. මම එක චරිතයකට සීමා වෙලා නැහැ. සමහරු විකට චරිත නම් විකට චරිත විතරයි. නැති නම් මැර චරිත විතරයි. ඒත් මම එහෙම නැහැ. විවිධ චරිත ඔස්සේ රංගනයට දායක වෙනවා. එහෙම විවිධ චරිත කරන්න පුළුවන් වීම ඇත්තටම මම ලබපු භාග්‍යයක්.

• ඔබ ලැබෙන ඕනෑම චරිතයක් කරනවාද?

මෙහෙමයි. මම වැඩිපුර ප්‍රේක්‍ෂකයන්ගේ පැත්ත බලනවනේ. මට දැනෙන චරිතයක් ලැබුණොත් මම ඒ චරිතයට සාධාරණයක් කරනවා.

• ඔබට වැඩිපුරම ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතවලටද?

සමහර අය චරිතවල නම්වලින් මට කතා කරනවා. ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් මම කරන චරිතවලට ලැබෙනවා. මම ලබා ගත්ත ජනප්‍රියත්වය ඒ විදියටම තියෙනවා. මුතුකුඩ ටෙලි නාට්‍යයේ මම කළ චරිතයට මට ගොඩාක් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. සහෝදර නළු නිළියන් පවා මට ගොඩක් හොඳයි කිව්වා. විශේෂයෙන්ම ටිකිරි රත්නායක අධ්‍යක්‍ෂවරයාට සහ කේ.බී. රත්නායක රචකයාට ඉතාමත් ස්තූතිවන්ත වෙනවා.

• ඔබ ජනප්‍රියත්වය සොයන කෙනෙක්ද?

නැහැ. ආත්ම තෘප්තිය සඳහා තමයි මම රංගනය කරන්නේ.

• ඔබ ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය රැක ගන්නේ කොහොමද?

ඇත්තටම රංගන ශිල්පීන් දැන ගන්න ඕන ඒ ආදරය රැක ගන්න. අපි නිහතමානී වෙන්න ඕන ඒ ආදරය රැකගන්න නම්. මම හිතන්නේ කලාව කියන්නේ දෙවියන්ගෙන් ලැබෙන දායාදයක්.

• කලාවෙන් හම්බ කරන්න පුළුවන්ද?

මම කලාවෙන් හම්බ කළේ ආදරණීය ප්‍රේක්‍ෂකයන් විතරයි.

• විදේශ ටෙලි නාට්‍යවලට ලංකාවේ හිමිවෙලා තියෙන තැන ගැන විවිධ අයට විවිධ මත තියෙනවා. ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ?

විදේශීය ටෙලි නාට්‍ය අපේ කලාවටත් සංස්කෘතියටත් පුදුම ව්‍යසනයක්. මේ නිසා අපේ කලාකරුවෝ අසරණ වෙලා ඉන්නේ. මෙය කලාකරුවන්ට තදබල පහරක්. අපේ රටේ හොඳ නිර්මාණ තියෙනවා. කලාකරුවන් අනෙක් අයගේ සිත් සුවපත් කළාට කලාකරුවට කවුද ඉන්නේ? කලාකරුවාට පහරක් තමයි මේ එල්ල වෙන්නේ.

• අධ්‍යක්‍ෂණයට එන්න බලාපොරොත්තුවක් නැද්ද?

අවුරුදු තුනක විතර ඉඳන් අධ්‍යක්‍ෂණයට එන්න මම හිතාගෙන ඉන්නවා. මේ වෙනකොට මම පිටපත් දෙකක් ලියලා තියෙනවා. නමුත් මම කැමැති නැහැ නිෂ්පාදකවරු අමාරුවේ දාන්න. මෙහෙම වියදම් කරලා ඒ නාට්‍ය පෙන්නගන්න බැරි වුණොත් තියෙන හිතවත්කමුත් නැති වෙනවා. මට හදිසියක් නැහැ. ලබන අවුරුද්දේ විතර ඒ නිර්මාණය ප්‍රේක්‍ෂකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා.

• ගීතයක් කරන්න අදහසක් නැද්ද?

මගේම කුලුදුල් ගීතයක් ළඟදීම රූප රචනයත් සමඟ ප්‍රේක්‍ෂකයන්ට ලබා දෙන්න ඉන්නේ.

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon