ලංකාවේ රන් බලාපොරොත්තු ඉටුවෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හෙට - අනිද්දා කොළඹදී

  👤  1296 readers have read this article !
Published by : MB WEB 2018-05-04 13:45:33

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය හෙට (05දා) සහ අනිද්දා (06දා) යන දෙදින කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර, රන් පදක්කම් කිහිපයකම බලාපොරොත්තු ශ්‍රී ලංකාව තබා ගෙන තිබේ.

ඒ අනුව මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට වඩාත්ම තර්ජනයක් එල්ල කරනු ලබනු ඇතැයි විශ්වාස කරන ඉන්දියානුවන්ගේ දක්‍ෂතා පිළිබඳව විමසීමක් කර බැලීමේදී කෙටි දුර ධාවන ඉසව්වලදී ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා ඉන්දියාවට වඩා මඳක් ඉදිරියෙන් සිටින බව පෙනී යයි.

එහිදී ඉන්දීය මීටර් 100 විශිෂ්ටතමයා වන ගුරින්දර්විර් සිං එම ඉසව්ව තත්. 10.43ක දක්‍ෂතාවක් දක්වමින් එම ඉසව්වේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට වඩා ඉදිරියෙන්ම සිටියද, මීටර් 200 හා 400 බාලක ඉසව්වලදී ඉන්දීය දක්‍ෂතාවලට වඩා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටීමද විශේෂත්වයකි.

පසුගියදා සුගතදාස ක්‍රීඩා පිටියේදී පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී දැක්වූ දක්‍ෂතා සහ ඉන්දීය ක්‍රීඩකයන්ගේ වර්තමාන දක්‍ෂතා ගෙන බැලුවහොත් මීටර් 200 බාලක ඉසව්වේදී ඉන්දියාවේ නිතින් ස්කිනනාද් තත්. 21.97ක උපරිම දක්‍ෂතාවක් පෙන්වා ඇති නමුත් මෙම දකුණු ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටින අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන තත්. 21.38ක දක්‍ෂතාවක් පෙන්වමින් ඉන්දීය ක්‍රීඩකයාට වඩා ඉදිරියෙන් පසුවෙයි.

තවද මීටර් 400 ඉසව්වේදී ඉන්දීය ක්‍රීඩක එන්.ජොයිල් තත්. 47.08 කාලයක් පෙන්වා ඇතත්, මීටර් 200 මෙන්ම මීටර් 400දීද ජාතික කනිෂ්ඨ තරගාවලියේදී නව තරග වාර්තා එක්කළ අරුණ දර්ශන මීටර් 400 ඉසව්ව තත්. 46.59ක දක්‍ෂතාවක් පෙන්වා තිබේ. මීටර් 400 කඩුලු ඉසව්වේදී ඉන්දියානු ක්‍රීඩක දවල් උටෙකර් තත්. 53.66ක කාලයක් සටහන් කර තිබුණද කුරුණෑගල මලියදේව විදුහලේ පී.එම්.පී.එල්. කොඩිකාර තත්.52.90ක කාලයක් පෙන්වමින් ඉන්දීය ක්‍රීඩකයාට වඩා ඉදිරියෙන් සිටීමට සමත්ව සිටී.

මේ අතර මීටර් 100, 200 හා 400 බාලිකා ඉසව්වලදී ඉන්දීය ක්‍රීඩිකාවන් හා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙන්වූ දක්‍ෂතාවන් අතුරින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉදිරියෙන් සිටීමද කැපී පෙනේ.

කෙසේ වෙතත් 5දා (හෙට) ආරම්භ වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට අදාළ මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා (02දා) ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් මූලස්ථානයේදී පැවැති අතර, එහිදී මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු මහතා පැවැසුවේ ඉන්දියාවෙන් 68ක්, පාකිස්තානයෙන් 16ක්, මාලදිවයිනෙන් 13ක්, බංග්ලාදේශයෙන් 11ක්, නේපාලයෙන් 07ක්, භූතානයෙන් 3ක් හා සත්කාරක ශ්‍රී ලංකාවෙන් 84 දෙනකු ලෙස රටවල් හතක් නියෝජනය කරමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 202 දෙනකු මෙම තරගාවලියට සහභාගි වන බවය.

"මෙම තරගාවලියේදී අපි අවම වශයෙන් රන් පදක්කම් 10 ක් දිනාගනීවි කියලා දැඩි විශ්වාසයකින් ඉන්නවා. කොහොම වුණත් මෙම තරගාවලිය සඳහා සියලුම වියදම් දරන්නේ ක්‍රීඩා අමාත්‍යංශය නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට අපි විශේෂ ස්තුතියක් පිරිනමන්න ඕන. ඒ වගේම ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට නවාතැන් ගැනීම සඳහා ඉඩ පහසුකම් සපයන සුගතදාස ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත විය යුතුයි" යනුවෙන් පැවැසූ ප්‍රනාන්දු මහතා තරගාවලිය පැවැත්වෙන අතරතුරදී ක්‍රීඩාංගණය තුළදී ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සමඟ සම්මුඛ සාකච්ඡාවල නිරත නොවන ලෙසද අවධාරණය කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon