යාළුකම්වලට, නෑදෑකම්වලට දෙන්න මගේ ළඟ චරිත නෑ

  👤  2629 readers have read this article !
Published by : MB WEB 2018-05-03 16:05:27

අපි චන්න පෙරේරාව මෙතෙක් කල් දැනගෙන හිටියේ රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදියට. නමුත් දැන් ඔහු විනිශ්චය මණ්ඩල සාමාජිකයෙක් විදියටත් කටයුතු කරනවා. ඒ හිරු රූපවාහිනි නාළිකාව ඔස්සේ විකාශය වන 'Hiru Super Hero' වැඩසටහන හරහා. චන්නගේ ඒ අලුත්ම භූමිකාව ගැන වගේම අලුත් වැඩකටයුතු ගැන අහන්නත් අපි ඔහු සම්බන්ධ කරගත්තා.

නළු නිළියන් විනිශ්චය පුටුවල ඉඳගන්න එක රැල්ලක් වෙලා. ඔබත් ඒ විලාසිතාවට අනුව ගිය ගමනක්ද මේ?

කොහෙත්ම නෑ. මේ වැඩසටහනේ විනිශ්චය හරහා මට ලොකු වැඩක් කරන්න පුළුවන් කියලා හිතුණා. රසඥතාව හඳුනන, හැබෑම රංගන ශිල්පී පරපුරක් මේ පුංචි දරුවන් තුළින් බිහි කළ හැකියි කියන බලාපොරොත්තුව මට තියෙනවා. වැඩිහිටියන් සමඟ කරට කර හිටිය හැකි දක්ෂතාවෙන් පරිපූර්ණ රංගන ශිල්පීන් මේ වනවිටත් අපි බිහිකරලා තියෙනවා. අපේ විනිශ්චය ස්වාධීනයි.

මෙවැනි වැඩසටහනකට ආරාධනා ලැබෙනකම් බලාගෙන හිටියද?

බලාපොරොත්තුවක් තිබුණේ නෑ. නමුත් මම පුංචි ළමයි එක්ක වැඩ කරන්න ආසයි. ඒ නිසා ලැබුණු ආරාධනාව සතුටින් භාර ගත්තා. ස්වර්ණා මල්ලවආරච්චි හා මහේන්ද්‍ර පෙරේරා සමඟ මගේ නම යෝජනා වීමත් ඇත්තටම ලොකු ආඩම්බරයක්.

චන්න අධ්‍යක්ෂවරයෙක්. බිරිය ගයාත්‍රිට චරිතයක් ලබාදිය හැකි නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න තවමත් හිතුවේ නැද්ද?

මේ දවස්වල 'බවාත්මා' ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදු කරනවා. ක්ලීටස් මෙන්ඩිස්, නයනතාරා, ශලනි තාරකා වැනි නළු නිළි පිරිසක් එයට සම්බන්ධ වී ඉන්නවා. ටෙලි නාට්‍යයේ වැඩවලින් සියයට හැත්තෑපහක් පමණ මේ වනවිට අවසන්. ගයාත්‍රිට ගැළපෙන චරිතයක් මේකෙත් තිබුණේ නෑ. ඒ විතරක් නෙමෙයි මගේ දුවලා දෙන්නාටත් හොඳට රඟපාන්න පුළුවන් වුණාට ඒ දෙන්නාටවත් ගැළපෙන චරිත දෙකක් මට තවම දෙන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. එහෙනම් ඒ දෙන්නත් මට චෝදනා කරන්න ඕනි. කොහොමත් යාළුකම්වලට, නැදෑකම්වලට දෙන්න චරිත මා ළඟ නෑ.

බවාත්මා මොන විදියේ කතාවක්ද?

පුනරුත්පත්ති කතාවක්. ඒ වගේම ප්‍රේම වෘතාන්තයක්. එය මෙතෙක් අධ්‍යක්ෂණය නොකළ වෙනස්ම විදියේ තේමාවක් රැගත් ටෙලි නාට්‍යයක්.

තවදුරටත් චන්න රඟපාන්නේ ඔබ අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍ය, චිත්‍රපටවල විතරමද?

අනුන්ගේ දෙයක වුණත් හොඳ චරිතයක් ලැබුණොත් මම රඟපානවා. ඉදිරියට තිරගත වීමට නියමිත චිත්‍රපට තුන හතරකත් මම ඉන්නවා. ඒ මගේ ඒවා නෙමෙයි. මම අධ්‍යක්ෂණය කළ මම රඟපාන 'එකයි දෙකයි තුනයි' ළමා චිත්‍රපටයත් මේ වසරේදී තිරගත වෙයි.

චන්න විදේශ නිළියන් ගෙනත් චිත්‍රපට කළා. ළඟදි අලුත් නිළියක් හඳුන්වා දෙන්න අදහසක් නැද්ද?

මේ අවුරුද්දේ චිත්‍රපටයක වැඩ පටන් ගන්නවා. අලුත් නිළියක් මම හොයනවා. අපේ කෙනෙක්ට මුල් තැන දෙනවා. බලමු ලැබෙයිද කියලා. ටෙලි නාට්‍යයකින් හැමදාමත් දකින කෙනෙක් මගේ චිත්‍රපටවලට ගන්න මම කැමැති නෑ. හැමදාම දකින කෙනාගේ නැවුම් බවක් නෑ. ඒකයි අලුත් අය හොයන්නේ.

දිගටම කලාව කරන්නද අදහස?

මගේ මුළු ජීවිතයම කලාව. ඒක හරිහැටි නොකළොත් මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න බෑ. ව්‍යාපාර කියන්නේ මම අකැමැතිම දෙයක්. ඒ නිසා කලාව තුළ අලුත් දෙයක් කරලා මෙහි දිගින් දිගටම රැඳී ඉන්නයි. මට ඕනි.

නිර්මාණ කරද්දී සම්මානවලට ආසාවක් එහෙම ඇති නේද?

එහෙම නෑ. 'රතු අහස' වෙනුවෙන් මට හොඳ අගැයීමක් ලැබුණා. ඒ ඇති.

චන්න ඉස්සර දැක්කා වගේමයි කියලා බොහෝ දෙනෙක් කියනවා. කොහොමද ඔය විදිහට තරුණ පෙනුම රැකගෙන ඉන්නේ?

ඒක ඉතිං දෙවියන් මට දුන් දෙයක්. ඒ වගේම මම ශරීර සෞඛ්‍ය ගැනත් වැඩිපුර හිතනවා.

චාමිණී ගම්මන්පිල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon