සිනමාකරුවන්ට 'හසු නොවූ යශෝධරා' මහැදුරු සුනිල් සිනමාවට ගෙනත්

  👤  2916 readers have read this article !
Published by : MB WEB 2018-05-02 15:46:32

'යශෝධරා' චරිතය සිනමාවට ගෙනාපු විශේෂ සංධිස්ථානය ගැන මුලින්ම කතා කරමු.

'යශෝධරා' කියන චරිතය අපි විතරක් නෙමෙයි මුළු ලෝක සාහිත්‍යම, ලෝක සිනමාවම අමතක කරපු චරිතයක්. බුදුන් වහන්සේට පමණක් දෙවැනි වන මේ ස්ත්‍රී චරිතය ලෝක සිනමාව, සාහිත්‍ය ඇයි අමතක කළේ කියලා පුදුම හිතෙනවා. බුදුන් වහන්සේ පිළිබඳ චිත්‍රපට ගණනාවක් හැදිලා තියෙනවා. නමුත් යශෝධරාව ගැන එකම කෙටි චිත්‍රපටයක්වත් නෑ. පාලි, සංස්කෘත, සිංහල වගේ භාෂාවලින් පොත් ගණනාවක් ලියවිලා තිබෙනවා. නමුත් ඒ කිසිම තැනක යශෝධරාවගේ චරිතය ගැන ලියැවුන ලේඛන සාහිත්‍යයක් නැහැ. යශෝධරාවත හැරෙන්න කිසිම ජන කවියෙක් යශෝධරාව ගැන ලියලත් නැහැ.

පූජාවලිය හැරෙන්න සම්භාව්‍ය සාහිත්‍යයක කිසි කෙනෙක් යශෝධරාව ගැන ලියලත් නෑහැ
බෞද්ධ සාහිත්‍යයේ පටාචාරා, කුණ්ඩලකේශි, මාගන්ධි, චිංචිමානවිකාව, අම්බපාලි වැනි චරිත ගැන පවා 'යශෝධරාව'ට වඩා ලියවිලා තියෙනවා. ඉතිං මම හිතුවා 'බිම්බා දේවි හෙවත් යශෝධරා නමින් චිත්‍රපටයක් කරන්න.

'යශෝධරාව' නිර්මාණයකට හසු නොවුණු නිසාමද ඔබ ඒ චරිතය නිර්මාණයකට යොදා ගත්තේ.

යශෝධරාව නැත්නම් සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්නේ තවත් ආත්ම ලක්‍ෂ ගණනකට පස්සේ. ඒ සංසාර ගමන කෙටි කරලා බුද්ධත්වය ලබා දෙන්න සහාය වූ ස්ත්‍රී සාධකය තමයි 'යශෝධරා'. ආත්ම ගණනාවක ජීවිත පරිත්‍යාගයෙන් බෝසතාණන්ට බුද්ධත්වය ලබා ගැනීම සඳහා උපකාර කළ කාන්තාව. පුදුම විදියේ ආත්ම පරිත්‍යාගයක් කළ වනිතා රත්නයක්. ධර්ම ප්‍රදීපිකාව, අමාවතුර, බුත්සරණ මේ කිසිම පොතක මේ උදාර කාන්තාව ගැන වචන ස්වල්පයකට වඩා සඳහන් වෙන්නේ නැහැ. දඹදෙණි සාහිත්‍ය යුගයේ පූජාවලිය නම් පොතේ විතරයි යශෝධරාවගේ චරිතය යම් ප්‍රමාණයකින් නිරූපණය වී තිබෙන්නේ.

එහි තමයි සඳහන් වෙන්නේ යශෝධරාව පසු කාලයේදී මහණ වෙන බව. බුදුන් වහන්සේ දැක්වූ කලගුණ සැලකිල්ල මේ ලෝකේ කිසි කෙනෙක් යශෝධරාවට කරලා නැහැ. අපි මේ කළේ චිත්‍රපටයක් නෙමෙයි. අපි මේ කරන්නේ පින්කමක්. මේ චිත්‍රපටයෙන් ලොකු පින්කමක් කළා වගේම මේ රටේ ස්ත්‍රී වර්ගයාට අපි උපහාරයක් කළා.

ඇත්තටම නිර්මාණකරුවන්ට යශෝධරාව මඟ හැරෙන්න ඇත්තේ ඇයි?

මේක විසඳුම් හොයා ගන්න බැරි ලොකු ප්‍රශ්නාර්ථයක්. යශෝධරාට සාධාරණත්වයක් ඉෂ්ට නොකළේ ඇයි? තෙළිඟු, කණ්ණඩ කවීන් යශෝධරා සම්බන්ධ කාව්‍යයන් නිර්මාණය කර තිබෙනවා. අපිට දක්‍ෂ කාව්‍යක්කාරයෝ හිටියා. ඇයි ඔවුන් යශෝධරා කාව්‍යයක් කළේ නැත්තේ? පරාක්‍රම කොඩිතුවක්කු, රත්න ශ්‍රී විජේසිංහ වැනි කවීන් ගත්තොත් මේ කවීන් ඇයි යශෝධරා චරිතයට අත නොතැබුවේ කියලා අපිට ප්‍රශ්නයක් එනවා.

පුරුෂ මූලික සමාජයක් ඇතුළේ 'යශෝධරා' චරිතය මඟ හැරෙන්න ඇති කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

එහෙනම් ඇයි අම්බපාලි ගැන, පටාචාරා ගැන ලිව්වේ. චිත්‍රපට කළේ. කුණ්ඩලකේශී නමින් දෙමළ මහා කාව්‍යයක් ලියවිලා තියෙනවා. අම්බපාලි ගැන හින්දි භාෂාවෙන් චිත්‍රපට දෙකක් ලියවිලි තියෙනවා. ඒ චිත්‍රපට දෙකම දෙබස් කවා ලංකාවේ පෙන්නුවා. 'යශෝධරා'ට මෙහෙම කළේ ඇයි කියන එක අපි කාටවත් විසඳගන්න බැරි ප්‍රශ්නයක්.

ඔබ 'යශෝධරා' චරිතය සිනමා නිර්මාණයකට ගෙනාවේ සලකුණක් තබන්නද?

මේ චිත්‍රපටය ආරම්භ කරන තුරු මමත් දන්නේ නැහැ යශෝධරාව මේ විදියට බෞද්ධ සාහිත්‍යකරුවන් විසින් කොන් කළ චරිතයක් කියලා. මම මේ චිත්‍රපටය මුලින් නිෂ්පාදනය කරන්න ගියේ සෝමා එදිරිසිංහ මහත්මියට. එතුමියගේ අභාවය නිසා ඒ චිත්‍රපටය ඇන හිටියා. නැවත මේ චිත්‍රපටය කරන්න මට යෝජනා කරන්නේ ඒ. ඩී. රංජිත් කුමාර මහත්මායි. 'යශෝධරා' නමින් චිත්‍රපටයක් කරමු කියලා යෝජනා කරද්දී යශෝධරා වෙනුවෙන් සාහිත්‍යයක් නැති බව මම දැනගෙන හිටියේ නැහැ. මේ තිරනාටකය ලියන්න හදද්දි තමයි මෙය කිරීම බැරෑරුම් කටයුත්තක් කියලා මට තේරුණේ.

මෙවැනි පසුබිමක ඔබ මේ තිරපිටපත පෝෂණය කරන්න ගොඩක් මහන්සි වෙන්න ඇති?

මේ චිත්‍රපටය පෝෂණය වී තිබෙන්නේ මම දන්න සාහිත්‍යයෙන්. මේ චිත්‍රපටයේ ප්‍රධාන මූලාශ්‍රය පූජාවලිය. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි බසින් ලියැවුණු පොත් අඩුම තරමින් පනහක්වත් මම මේ යශෝධරා චරිතය ගොඩනඟන්න පරිශීලනය කර තිබෙනවා. පූජාවලියෙවත් මුල මැද අග සහිත යශෝධරා වෘත්තාන්තයක් නැහැ. ඒ නිසා මට සිදුවුණා මෙහි අත්තිවාරම ලෙස පූජාවලියේ තිබෙන යශෝධරාව පිළිබඳ සිදුවීම් මාලාව ගෙන තවත් බොහෝ පොත පත කියවා මුල මැද අග සහිත කතාන්තරයක් ගොඩනඟන්න. චිත්‍රපටය කරනවට වඩා මට අසීරු වුණේ මේ තිර නාටකය රචනා කරන එක. ඒ අත්තිවාරම ශක්තිමත්ව හදා නොගත්තා නම් මට මේ චිත්‍රපටය සාර්ථකව නිර්මාණය කර ගැනීමට නොහැකි වෙනවා.

බෞද්ධ සාහිත්‍ය ඇසුුරු කරගෙන නිර්මාණයක් කරද්දී අභියෝග මුණ නොගැසුණා වෙන්න බෑ.

මම බුද්ධ චරිතය ගැන චිත්‍රපට රාශියක් බැලුවා. ඉංග්‍රීසි සාහිත්‍යයේ විලියම් බැරට් ලියූ ඹ්චඤර ධට බඩඥ තධබභඵ කියන කෘතිය ආනන්ද අමරසිරි සිංහලට පරිවර්තනය කර තිබෙනවා යශෝධරා හෙවත් නෙලුම් මලේ උපන් කුමරිය කියලා. නමුත් මේ කෘතිය අපිට පදනම් කරගන්න බෑ. මෙහි තිබෙන කතාන්තරය අපේ ථෙරවාදී සම්ප්‍රදායට විරුද්ධයි. මම බැලුවා. 'බුද්ධ' කියලා ජපන් චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ හැටියට දේවදත්ත යශෝදරාගේ පෙම්වතා. සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කළාට පසුව දේවදත්ත යශෝධරාව හොයාගෙන විත් රහසේ ඇයගේ කුටියට ගොස් 'යශෝධරාව' දූෂණය කරනවා. මේ වගේ විවිධ නිර්මාණ බලල බටහිර කතා කියවලා ඒවා පෙරහන් කඩයකින් පෙරලා තමයි මට මේ කතාව නිර්මාණය කරගන්න වුණේ. සම්ප්‍රදාය ගැන හිතලා තමයි මෙය නිර්මාණය කළේ. ඒ වගේම තවත් ලොකු ගැටලුවක් අපිට තිබුණා.

ඒ මොකක්ද? 

අපේ රටේ බුදුන් වහන්සේගේ චරිතය කාටවත් නිරූපණය කරන්න තහනම්. උන්වහන්සේගේ අත පය වෙනුවෙන් පෘථග්ජන මනුෂ්‍යකුගේ අත, පය පෙන්වන්න බැහැ. මේකේ තියෙන ලොකුම විහිළුව තමයි ඉන්දියාවේ බුද්ධ චරිතයට නිකන් මිනිස්සු දාලා රඟපාවනවා. ඒ ඉන්දියානු චිත්‍රපට ලංකාවේ රූපවාහිනි නාළිකාවල පෙන්නනවා. මොකක්ද මේ තහංචියේ අරුත. අපි මේ තහංචි බින්‍ෙදාත් බෞද්ධ ජනතාව අපිට එරෙහිව නැඟී සිටිනවා. නමුත් ලංකාවේ රූපවාහිනි නාළිකාවල එවැනි විදෙස් චිත්‍රපට ටෙලි නාට්‍ය විකාශය කරනවා. කාටද අපි මේ අවනඩුව කියන්නේ. අපි මේවාට සටන් වදින්න ගියේ නැහැ. සම්ප්‍රදායට එරෙහිවන්න ගියේ නැහැ. අපි බුදුන් වහන්සේගේ චරිතයට පෘථග්ජන මනුෂ්‍යයෙක් යොදා ගත්තේ නැහැ. අභියෝගවලට මුහුණ දෙමින් කළ මේ චිත්‍රපටය, බලපු අය හොඳයි කියද්දී සතුටක් ආඩම්බරයක් දැනෙනවා.

චිත්‍රපටය තිරගත වෙන්නත් කලින් විවේචන කිහිපයක්ම එල්ල වුණා නේද?

අද වෙනකොට සමාජ වෙබ් අඩවිවල චිත්‍රපටය ගැන විවිධ කතාබහ යනවා. බුදුන් වහන්සේට භාර්යාවක් හිටියේ නැහැ. නමුත් සුනිල් ආරියරත්න බුදුන් වහන්සේට භාර්යාවක් හදලා දීලා තියෙනවා කියලා. චිත්‍රපටයේ ප්‍රකාශනවල තියෙනවා 'ඇය බුද්ධ පතිව්‍රතාවයි' කියලා. පතිව්‍රතාව කියන්නේ පර පුරුෂයන් කරා නොගොස් තමන්ගේ ස්වාමි පුරුෂයා කෙරෙහි පතිභක්තියෙන් සිටින කාන්තාව. යශෝධරාව සිද්ධාර්ථ සමයේත් පරපුරුෂයන් කරා ගියේ නැහැ. සිද්ධාර්ථ කුමරු බුද්ධත්වය ලැබූ පසුවත් යශෝධරාව පරපුරුෂයන් කරා ගියේ නැහැ. ඒ නිසා ඇය බුද්ධ පතිව්‍රතාවක්. චිත්‍රපටය එන්න කලින් ඒ වගේ විවේචන කළ අයට සිංහල වචනවල තේරුමක් කියා දෙන්න වෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රචාරක පාඨ දිහා බලලා තමයි ඔය විවේචන ආවේ.

මේ චිත්‍රපටයේ යශෝධරාවගේ චරිතයට විදෙස් නිළියක්ම සොයා ගත්තේ ඇයි?

මේ චිත්‍රපටයට ඉන්දීය නිළියක් ගැනීම ගැන විවිධ අය මට චෝදනා කළා. ලංකාවේ නිළියක් මෙම චරිතයට තෝරා ගත්තොත් ඒ නිළිය මුළු ජීවිතයටම රඟ පෑ යුත්තේ 'යශෝධරා' විතරයි. ඇය කලින් ඊට පටහැනි චරිත රඟපාලා තියෙන්නත් බෑ. මීට පස්සේ එයා වෙන චරිත රඟපාන්නත් බෑ. අපිට අයිතියක් නැහැ වෘත්තීය නිළියකට එහෙම අණ කරන්න. ඒක අසාධාරණයක්.
අපේ දක්‍ෂ නිළියන් ඉන්නවා. නමුත් ඒ ගන්න කෙනා යශෝධරා චරිතය කළාට පස්සේ ගණිකාවකගේ චරිතයක් නිරූපණය කළොත් අපිට තහංචි දාන්න බෑ. එහෙම චරිතයක් කළොත් චෝදනාව එන්නේ මට.

ඒ වගේ චෝදනාවකට ඔබ මුහුණ දීලත් තිබෙනවා නේද?

ඔව්, මම පත්තිනි චිත්‍රපටයේ කන්නගිගේ චරිතයට පූජාව ගත්තා. පත්තිනියගේ චරිතයට වෙන නිළියක් ගත්තා. ඒ නිළිය විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්නට පස්සේ මිනිස්සු මට බනින්න ගත්තා. 'පත්තිනි වගේ ශේ‍ර්ෂ්ඨ චරිතයකට ඇයව ගත්තේ ඇයි' කියලා මට චෝදනා කළා. ඒ නිසා ඒ අමිහිරි අත්දැකීම මට තිබුණා. ඒ නිසා තමයි මම මෙයට ඉන්දියාවෙන් නිළියක් තෝර ගත්තේ.

එතකොට පල්ලවි සුභාෂ්ව මේ චරිතයට ගනිද්දි ඒ වගේ චෝදනා එල්ල නොවෙයි කියලා හිතුවාද?

පල්ලවි සුභාෂ් තමයි 'යශෝධරා'ගේ චරිතය කරන්නේ. ඇයව මම තෝරා ගත්තේ ආවට ගියාට නෙමෙයි. ඇය ධර්මාශෝක ටෙලි නාට්‍ය මාලාවේ රාණි ධර්මා. මහභාරතය, රාමායනය වගේ නිර්මාණවලත් ඇය රඟපාලා තියෙනවා. ඇය උතුරු ඉන්දියාවේ ටෙලි නාට්‍යවල රඟපාන නිළියක්. ඇය ධාර්මික චරිත රඟපාලා තියෙන නිසා තමයි මම ඇයව මේ චරිතයට තෝරා ගත්තේ. ඇය එක්ක පෞද්ගලිකව කතා කරද්දී ඇය කිව්වා මේ වගේ චරිත හැරුණු කොට වෙන චරිත නිරූපණය කරන්න කැමැති නැහැ කියලා. ඇය දැනට වෙන චරිත කරලා නැහැ. ඉදිරියට කොහොම වෙයිද දන්නේ නැහැ.

ස්ත්‍රීන් වෙනුවෙන් වැඩි දායකත්වයක් දෙන චිත්‍රපට බොහොමයක් ඔබ නිර්මාණය කර තිබෙනවා. එයට විශේෂ කාරණාවක් තියෙනවද?

ඒක මටත් නොදැනීම වෙච්ච දෙයක්. සුදු සෙවණැලි, කුසපබා, පත්තිනි, උත්පලවන්නා, යශෝධරා චිත්‍රපට ගත්තොත් මටත් නොදැනී එවැනි නිර්මාණවලට මම යොමුවී තිබෙනවා. මම ස්ත්‍රීන්ට ආදරය කරන ගෞරව කරන කෙනෙක්. මම ස්ත්‍රීන්ට නිගරු කරන, හෙළා දකින කෙනෙක් නොවෙයි. ඒ නිසා මගේ චිත්‍රපටවල කාන්තා චරිත ගැන කියැවෙනවා. ඒක මගේ උපවිඥානයෙන් එන දෙයක් වෙන්න පුළුවන්.

ප්‍රධාන රංගනයට යොදා ගත්ත විදේශ නළු නිළි යුවළගෙන් ඔබට අවශ්‍ය රංගන දායකත්වය ලබාගන්න පුළුවන් වුණාද?

පල්ලවි සුභාෂ් සහ ඒ චෞද්රි තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. මේ චරිත දෙකම පූජනීය චරිත. ඒ චරිත හෑල්ලුවට ලක් කරන්න බෑ. පල්ලවී සුභාෂ් තරම් චෞද්රි ජනප්‍රිය නැහැ. නැඟී එන නවක නළුවෙක්. මේ දෙන්නම ඒ චරිතවලට සාධාරණයක් කරලා තියෙනවා. මම සියයට සියයක් ඒ දෙන්නා ගැන තෘප්තිමත්. මේතාක් චිත්‍රපටය නරඹපු අය කිව්වා මේ දෙන්නා ඒ චරිත භූමිකාවන් හොඳින් නිරූපණය කර තිබෙනවා කියලා.

ඔවුන්ගේ රංගනය ප්‍රේක්ෂකයාට සමීප කරන්නට හඬ දායකත්වය ලබාදුන් අයත් ලොකු බලපෑමක් කරලා තියෙනවා නේද?

ෆර්නි රෝෂිණී තමයි යශෝධරාවගේ චරිතයට හඬ කැව්වේ. ඇය දැවැන්ත කැප කිරීමක් කළා හඬ ගැන්වීමට. ඇය හඬ කැවීම් මැදිරියට දහපාරක් විතර ආවා. තවත් ඕන වාරයක් හඬ කවන්න ඇය එනවා කිව්වා. එය ඇයට ලැබුණු භාග්‍යයක් ලෙස සලකනවා කියලා තමයි ඇය කිව්වේ. බිමල් ජයකොඩිත් එහෙමයි. මේ චරිත දෙක අපේ අයට දැනෙන්නේ ඔවුන්ගේ හඬ කැවීම නිසා.

පත්තිනි, කුස පබා වගේම යශෝධරා චිත්‍රපටයේ ප්‍රධාන රංගනයන් ඉදිරිපත් කරන්නේ විදේශ නිළියන්. එතකොට ඔබේ නිර්මාණවලට ගැළපෙන නිළියන් ලංකාවේ ඇත්තෙම නැද්ද?

මම මේ වෙන කොටත් ඔය ප්‍රශ්නයට මුහුණ දීලා තිබෙනවා. මගේ ඊළඟ චිත්‍රපටය විජයබා කොල්ලය. එය සැප්තැම්බර් මාසයේදී රූගත කිරීම් පටන් ගන්නවා. මේ චිත්‍රපටයේ සියලු චරිත සඳහා නළු නිළියන් තෝරලා තියෙනවා. නමුත් එහි ප්‍රධාන චරිතයේ නම නීලමනී. මේ සම්මුඛ සාකච්ඡාව දෙන දවස වෙද්දී අපි තිර පරීක්ෂණ පහක් විතර පවත්වලා තියෙනවා. අදටත් ඒ චරිතය නිරූපණය කරන්න කෙනෙක් ලැබිලා නැහැ.

විජයබා කොල්ලයේ නීලමනීත් ඉන්දියාවේ චරිතයක් වෙයිද?

මට මේ වෙන කොට ලොකු බලපෑමක් තියෙනවා ඉන්දියාවේ නිළියක් නීලමනීට ගේමු කියලා. නමුත් මම දැඩි ස්ථාවරයක ඉන්නවා කොහොම හරි ලංකාවෙන්ම නීලමනී සොයා ගන්න.

චිත්‍රපටයේ ගායනයන් ගැනත් බොහෝ අය කතා කරනවා.
ඔව්. නන්දා මාලනීව අපි භාවිත කරන්නේ පසුබිම් ගායනයට පමණයි. නමුත් අපි හිතුවා යශෝධරාවගේ නරසීහ ගාථා ගායනයට නන්දා මාලනී යොදා ගත්තොත් නන්දා මාලනී කියන චරිතය මතු වෙනවා. ඒ නිසා ඉනෝකා අහංගම කියලා අලුත්ම ගායිකාවක් ඒ සඳහා යොදා ගත්තා. කාව්‍යක්කාරයා වෙනුවෙන් පරීක්ෂණ ගණනාවක් තියලා අලුත්ම හඬක් තෝරා ගත්තා. ඒ ගී ගයන්නේ ඩිලාන් කරුණාරත්න.

මේ නිර්මාණයේ රූප රාමු චිත්‍රපටයට තවත් ආලෝකයක් ගෙනාවා. ඒ ගැනත් කියමු.

චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් වැඩි කොටසක් චන්න දේශප්‍රියටත් හිමි වෙනවා. ඔහු දැවැන්ත වෙහෙසක් දරුවා මේ රූප රාමු නිර්මාණය කරගන්න. එක ජවනිකාවක තත්පර 30ක ෂොට් එකක් ගන්න ඔහු පැය 3ක් පමණ වෙහෙස මහන්සි වුණා. ඒ නිසා තමයි මේ චිත්‍රපටයේ රූප රාමුවෙන් රූප රාමුවට චරිත සමීප වෙන්නේ. චිත්‍රපටයේ වැඩි ප්‍රමාණයක් අපි රූගත කළේ රන්මිණිතැන්නෙදී. අපි වෙනමම සෙට් එකක් හැදුවා. මුළු කපිලවස්තු පුරයම විමල් දුෂ්මන්ත තරුණයා රන්මිණිතැන්නේදී හැදුවා. ඔහු හොඳ අනාගතයක් තියෙන කලා අධ්‍යක්ෂවරයෙක්.

ලංකාවේ චිත්‍රපට කළාට ඒ චිත්‍රපට සඳහා ප්‍රේක්ෂකයෝ දිනා ගැනීමේ ගැටලුවක් තියෙනවා නේද? එය ඔබේ චිත්‍රපටයට බලපාන එකක් නැද්ද?

ධර්ම යුද්ධය චිත්‍රපටයෙන් පස්සේ සියලු චිත්‍රපට වාණිජමය වශයෙන් අසාර්ථකයි. චිත්‍රපට කියන්නේ සූදුවක්. මගේ චිත්‍රපටය දැනට සාර්ථකයි කියන්නේ මගේ යාළුවෝ. හරි විනිශ්චය අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ චිත්‍රපටය තිරගත කරලා සුමාන දෙකක් විතර ගියාට පස්සේ. නමුත් සිනමා ශාලා හිමියන් විශ්වාස කරනවා මේ චිත්‍රපටය දුවයි කියලා. ඒ නිසා සිංහල සිනමාවේ ප්‍රථම වතාවට සිනමා ශාලා 80ක් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ කෙනෙක් මට කිව්වා යශෝධරා චිත්‍රපටය දිව්වේ නැත්නම් අපේ සිනමා ශාලා වහනවා කියලා. යශෝධරා දිව්වේ නැත්නම් සිනමා ශාලා 25ක් නිසැකයෙන්ම වැහෙනවා කියලා ඔහු කිව්වා. චිත්‍රපටය නොදිව්වොත් මමත් අසාර්ථක වෙනවා. නිෂ්පාදකවරයාත් අසාර්ථක වෙනවා. සමස්ත සිනමා කර්මාන්තයම අසාර්ථක වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූපය - අකිල ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon