මගේ ජයග්‍රහණය ගැන බිය වී ඇති සමහරු මට මඩ ගහනවා තිලංග

  👤  1270 readers have read this article !
Published by : MB WEB 2018-05-02 16:57:22

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 19 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබුණද බලපා ඇති නීතිමය තත්ත්වයන් හේතුකොට ගෙන නිලවරණය කල් දමා වත්මන් ක්‍රිකට් නිලධාරි මණ්ඩලයම නව අතුරු කමිටුවක් සේ පත් කිරීමට නව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කොට ඇතත්, ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී වත්මන් ක්‍රිකට් අතුරු කමිටු සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ ක්‍රිකට් නිලවරණය මැයි 31 වැනිදා පැවැත්වීමට අදහස් කරගෙන ඇති බවය.

කෙසේ වෙතත් විශේෂ මහා සභා රැස්වීමක් පවත්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිලවරණ කමිටුවක් පත්කළ බවට නව ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අනුව යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැයි 19 වැනිදා විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා නිලවරණ කමිටුව පත්කිරීමට තීරණය කර ඇති බවද ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

"මැතිවරණ කමිටුවක් පත්කළ යුත්තේ විශේෂ මහ සභා රැස්වීමකදී බව ක්‍රීඩා අමාත්‍යාංශය අපිට දැන්වූ නිසා අපි තීරණය කළා මැයි 19 වැනිදා විශේෂ මහ සභා රැස්වීමක් පවත්වා එදිනම නිලවරණය කමිටුවක් කැඳවන්න. එහෙම නිලවරණය කමිටුව පත්කරගෙන මැයි 31 වැනිදාට නිලවරණය පවත්වන්න අපි මේ වනවිට සැලසුම් කරගෙන යනවා. කොහොම වුණත් හැම ඡන්ද කාලෙකදීම වගේ මෙවරත් මට ඇතැම් පිරිස් චෝදනා කරනවා මම පුවත්පත්වලට සම්බන්ධයි කියලා. ඇත්තටම මම ලක්බිම පුවත්පත ආරම්භ කරන්න කලින් 1986 රැජින පුවත්පත ආරම්භ කළා. 1994-95 තමයි ලක්බිම පුවත්පත ආරම්භ කළේ. නමුත් මම 1995 ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති තනතුරට පත්වීමත් සමඟ කිසිම අවස්ථාවක පුවත්පත් ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හිටියේ නැහැ. මම ඔය කියන හැම අංශයකින්ම ඉවත්වෙලා සෑහෙන කාලයක් වෙනවා. ඒ වගේම එම පුවත්පත් ආයතන සමඟ සෘජු සම්බන්ධතාවක් මගේ නැහැ. ඒ නිසා ඒ චෝදනාවේ කිසිදු වලංගුභාවයක් නැහැ. ඒ වගේම තරග පරදින කාලෙට මට චෝදනා කළා ක්‍රිකට් සමඟ ඔට්ටු අල්ලනවා කියලා. ඒත් තරග දිනන කාලෙට ඔය මොකුත් නැහැ. කොහොම වුණත් ඔය හැමදේකින්ම මම නිදහස් වුණත් මගේ චරිතය ඝාතනය කරන්න මට දිගින් දිගටම මඩ ගහන්න ඔය දේවල් පාවිච්චි කරනවා" යනුවෙන් පැවැසූ සුමතිපාල මහතා කියා සිටියේ මෙවරත් තමන්ට ක්‍රීඩා සමාජ රාශියකම සහයෝගය ලැබී ඇති බවය.

"ක්‍රිකට් ආයතනය මම භාරගන්නකොට බිලියන 5ක පමණ ණය තිබුණා. අද වනවිට එම ණය බරින් නිදහස් වෙලා බිලියන 2ක පමණ සංචිතයක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා. මේ නිසා ක්‍රිකට් ආයතනය සතුව දැනට තියෙන ක්‍රීඩා සමාජ 84න් 61ක්ම මට ආරාධනා කළා නැවත නිලවරණයට ඉදිරිපත් වෙන්න කියලා. මේ තනතුරට ලංකාවේ ඉන්න සුදුසුම, අවංකම කෙනා මම. ඒක නිසා ඔය චෝදනා කරන අයගෙන් මම ඉල්ලන්නේ මඩ ගොහොරුවලින් එළියට ඇවිත් අවංකවම ජීවත්වෙන්න කියලයි.

ඒ කොහොම වුණත් අපේ ලොකුම උත්සාහය 2019 ලෝක කුසලාන දිනාගැනීම. ඒක නිසා ඒකට අපිට උදවු කරන්න කියලා මම හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා" යනුවෙන්ද සුමතිපාල මහතා සඳහන් කළේය.

මේ අතර ලසිත් මාලිංග ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වනවාද නැද්ද යන්න විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෑෂ්ලි ද සිල්වා පැවැසුවේ මේ වනවිට ඔහු අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගෙන ඇති බව ඔහුට දන්වා යැව්වද ඔහු එයට මේ වනවිටත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය.

"ඔහු අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙලා දක්‍ෂතා දැක්වුවහොත් එළැඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරය හෝ ආසියානු ක්‍රිකට් තරගාවලියට එක්වෙන්න ඔහුට හැකි වේවි" යනුවෙන්ද සිල්වා මහතා කීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon