ගායන දිවියෙන් සමුගන්න කලින් දමයන්ති ජයසූරියගෙන් 'සිත නිවන ගී'

  👤  1435 readers have read this article !
Published by : MB WEB 2018-04-25 15:30:37

ලංකාවේ ඉන්න විශිෂ්ටතම ගායන ශිල්පිනියක් තමයි දමයන්ති ජයසූරිය. ඇය ගායන ජීවිතයෙන් සමුගන්න සූදානම් වෙනවා. ඊට පෙර ඇය අවසන් සංයුක්ත තැටිය එළිදක්වන්නත් කටයුතු කරමින් ඉන්නවා.

මේ ආරංචියත් එක්ක අපි ඇයට කතා කළා. ඒ පෙර කී ආරංචියට සම්බන්ධ විස්තර ඇගෙන් අහලා බලන්න හිතාගෙන.

ඔබේ අවසන් සංයුක්ත තැටිය 'සිත නිවන ගී'. එහෙම නේද?

ඔව්. ඒ ආරංචිය හරි. 'සිත නිවන ගී' තමයි මගේ අවසන් සංයුක්ත තැටිය. ඉන් පස්සේ මම කිසිදාක සන්දර්ශනයක ගී ගයන්නේ නැහැ. විවේකීව ඉන්න හිතුවා.

ඇයි මේ වගේ තීරණයක් ගන්න හිතුවේ?

මට හිතුණා දැන් ඇති කියලා. අවුරුදු 50ක් මම ගී ගැයුවා. මම ළමා කාලයේ ගැයූ 'තැපැල් පියුම් මාමේ මට ලියුම් ගොඩක් ඕනේ' ගීතය අලුත් පරපුරේ දරුවෝ පවා දැන් ගයනවා. ඒවා අහලා මම හුඟක් සතුටු වෙනවා. ඒ සතුට හිතේ තියාගෙන ජීවත් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව.

ඔබට හොඳින් ගී ගයන්න පුළුවන්. එවැනි පසුබිමක් තුළ මේ වගේ තීරණයක් ගන්න වෙනත් කාරණයක් බලපෑවේ නැද්ද?

තියෙනවා. මම ළමා අවධිය, තරුණ අවධිය වගේම දැන් ගත කරන්නේ මහලු අවධිය. මහලු වෙද්දී අපි ඊළඟ යන තැනට අරගෙන යන්න මොනවා හරි කරන්න ඕන.
දැන් මට හිතෙනවා වැඩිපුරම බණ භාවනා පැත්තට යොමු වෙන එක හොඳයි කියලා. ඇත්තටම ඒ හින්දම තමයි මම හිතුවේ දැන් ආධ්‍යාත්මික ජීවිතය පැත්තට යොමු වුණොත් හොඳයි කියලා.

ඔබ මේ සංයුක්ත තැටිය කරන්නෙත් එවැනි ආයතනයක් සමඟ එකතු වෙලා නේද?

ඔව්. සියඹලාපේ සිතුම් පියස බෞද්ධ මධ්‍යස්ථානයේ හන්තානේ ධර්මගවේශී ස්වාමින් වහන්සේ සමඟ එකතු වී තමයි මම මේ සංයුක්ත තැටිය එළිදක්වන්නේ.
'මේ සංයුක්ත තැටියෙ තිබෙන සියලුම ඒවා බෞද්ධ ගීත. ඒ ගීත එකතුව ඇත්තටම සිත නිවන ගීත. අප්‍රේල් මස 23 වැනිදා ප.ව. 5.00ට කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී තමයි ඒ වෙනුවෙන් පැවැත්වෙන උත්සවය තිබෙන්නේ. පූජ්‍ය මහාචාර්ය, පාතේගම ඥානිස්සර ස්වාමින් වහන්සේ වගේම, කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ විශේෂ දේශනා පවත්වනවා.

ප්‍රසිද්ධ වේදිකාවෙන් වගේම රූපවාහිනි ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ගී නොගැයුවත් ඔබ ආගමික වැඩසටහන්වලට සහභාගි වෙනවා. එහෙම නේද?

ඔව්. අපේ සිතුම් පියසේ, හාමුදුරුවෝ තරුණ දූ දරුවන් වෙනුවෙන් උපදේශන වැඩමුළු සංවිධානය කරනවා. මේ වැඩසටහන්වලදී බෞද්ධ ගීත, ලෝවැඩ සඟරාව, යශෝධරාව වගේම බෞද්ධ කවි මා ලවා ගායනා කරවනවා. ඒක මම කරන්නේ හරිම කැමැත්තෙන්.
මොකද දරුවන්ට, තරුණ ළමයින්ට ජීවිතේ ගැන කියාදෙන විට මෙවැනි ගායනා ඉතා වැදගත් වෙනවා. ඒ නිසා තමයි මම ඊට කැමැත්තෙන්ම සම්මාදන් වුණේ.

ගෙදර උදවිය කැමැතිද ඔබේ ඔය ආගමික ජීවිතයට?

මගේ ස්වාමිපුරුෂයා (ඒ.ඩී. රංජිත් කුමාර) වගේම පුතා නුවන් නයනජිත් කුමාර ඒ වෙනුවෙන් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.
ඔයගොල්ලෝ දන්නවා මගේ ස්වාමිපුරුෂයා පුවත්පත් කලාවේදියෙක් කියලා. ඔහුගේ රැකියාවට යන එන වේලාවක් නැහැ. උදේ ගෙදරින් ගියාම රෑ වෙලා ගෙදර එනවා.
ඔය කාලයේදී මම මගේ ගායන ජීවිතයට වඩා ප්‍රමුඛත්වය ලබා දුන්නේ ගෙදර වැඩවලටයි. නුවන් පුංචි කාලේ එයාගේ හැම වැඩක්ම ඉටු වුණේ මගේ අතින්. කිසිම වගකීමක් මම පැහැර හැරියේ නැහැ.

ස්වාමිපුරුෂයා වෙනුවෙනුත් යුතුකම් ඉටු කළ භාර්යාවක් ඔබ?

ඇත්තටම ඔව්. මම මගේ ස්වාමිපුරුෂයාගේ හැම වගකීමක්ම හොඳින් ඉටුකළා. සොයා බැලුවා. ඔහුට ගෙදර වැඩ පැවැරුවේ නැහැ. හිතේ සතුටින් රැකියාව කරලා ගෙදර ඇවිත් ඉන්න පුළුවන් විධියට මම ගෙදර වැඩ ටික සැලසුම් කළා. ඒක එයා දන්නවා. ඉතිං දැන් මම මිත්තණියක්. දැන් මම මහලුයි. අපි ජීවිතේ ලබන්න පුළුවන් ඉහළම සතුට ලැබෙන විදියේ ආගමික ජීවිතයකට හුරු වෙන්න ඕන.

හැබැයි මිත්තණියගේ චරිතය තවදුරටත් රඟපාන්න වෙනවා?


(සිනාසෙයි.) ඔව්. මට ඉන්නවා නිවුන් මුනුපුරන් දෙන්නෙක්. ඒ දෙන්නට මම නැතිව බැහැ තමයි. ඒ වගේම මටත් එහෙමයි. මම මේ දෙන්න එක්ක ගත කරන ජීවිතය තුළත් පුදුමාකාර විදියේ සතුටක් ලබනවා. ඒ හැම දෙයක්ම කරන අතරේ තමයි ආගමික ජීවිතය පැත්තට යොමු වුණේ.
ජීවිතේ හරිම පුදුමයි. බැඳීම් තිබෙනවා. ඒත් යථාර්ථය තේරුම් ගන්නත් වෙනවා. අපි කවදා හරි මේ හැම දෙයක්ම දාලා යනවා. ඒ යන තැනටත් මොනවා හරි අරගෙන යන්න ඕන.

අවුරුදු 50ක් තිස්සේ මම ගීත ගායනා කළා. ගොඩක්ම නෙවෙයි ටිකක්. නමුත් ඒ ගීතවලට හුඟාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. 'උන්මාද වූ ප්‍රේමාදරේ' ගීතය තරුණ ළමයින් අතර තවමත් ජනප්‍රියයි. ඉතින් ඒකත් ඒ සුන්දර මතකයක්.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon