වසර දහයකට පස්සේ සිනමාවට ඇවිත් බන්දු-ටෙනි කැපිලි කෙටිලි සියල්ල හෙළි කරයි

  👤  5032 readers have read this article !
Published by : MB WEB 2018-04-23 16:39:24

බන්දු-ටෙනි සුසංයෝගය කාලයක් එකට සිනමාවේ දකින්න ලැබුණේ නැහැ. නමුත් දැන් බන්දු-ටෙනි යමරජ සිරි චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත්.

ඔව්, අවුරුදු 10කට විතර පස්සේ තමයි අපි දෙන්නම එකම සිනමා නිර්මාණයකින් දකින්න ලැබෙන්නේ. අපේ රසිකයෝ අපෙන් බොහෝ වෙලාවට ඇහුවා ඇයි ඔබ දෙපළ පේන්න නැත්තේ කියලා. අපිව බලාපොරොත්තුවෙන් හිටිය රසික රසිකාවියන් අතරට යමරජ සිරි චිත්‍රපටය ගෙන ඒම ගැන ඇත්තටම සතුටුයි.

බන්දු-ටෙනි සිනමාවට එකට සම්බන්ධ නොවුණේ අමනාපයක් නිසා හෝ මුදල් ගැටලුවක් නිසා නෙවෙයිද?

නෑ නෑ. ඒක මුදල සම්බන්ධ බලපෑමක් නෙවෙයි. අපි අතර අමනාපයකුත් තිබුණේ නෑ.

ඇත්තටම ඔබ සහ ටෙනි කාලයක සිට සිනමාවේ එකට දකින්න නොලැබුණේ ඇයි?

පසුගිය කාලේ පරණ නිෂ්පාදකවරු නවක නිෂ්පාදකවරු එක්ක කතා වුණාලු බන්දු, ටෙනි දාලා චිත්‍රපට දුවවන්න බෑ කියලා. ඔය සාකච්ඡා කරන දේවල් අපිට ආරංචි වෙනවා. පරණ නිෂ්පාදකවරු, අලුත් නිෂ්පාදකවරුන්ට එහෙම කිව්වම ඒ නිෂ්පාදකවරු බය වෙනවා අපිව ගන්න.

නමුත් බන්දු, ටෙනි රඟපාපු චිත්‍රපට ප්‍රේක්ෂක ජනප්‍රියත්වය දිනාගෙන තියෙනවානේ?

චිත්‍රපටයක් සාර්ථක වුණොත් කියන්නේ ඒක නිෂ්පාදකවරුන්ගේ වාසනාවට සිද්ධ වුණු දෙයක් කියලා. ඒ වෙනුවෙන් අපිට ප්‍රණාමය දෙන්නේ නෑ. සතුට ප්‍රකාශ කරන්නෙත් නෑ. නමුත් චිත්‍රපටය අසාර්ථක වුණොත් කියන්නේ "අයියෝ බන්දු, ටෙනි ගත්ත නිසා තමයි එහෙම වුණේ" කියලා. "දැන් වයසයිනේ, කිසිම මොරාල් එකක් නෑනේ. අයියෝ පව්" කියලා තමයි ක්ෂේත්‍රයේ අය එතකොට අපිට කියන්නේ. එතකොට ඒක අපේ අවාසනාව නිසා වුණු දෙයක්.

කලකිරීමෙන්ද කතා කරන්නේ?

අපෝ නැහැ. කිසිම දුකක් නැහැ. මේක තමයි ක්ෂේත්‍රයේ අයගේ විධිය.

චිත්‍රපටයක් සාර්ථක වෙන්නේ රංගන ශිල්පීන් මතමද?

මෙහෙමනේ, අපි දෙන්නා චිත්‍රපටයකට ආවා කියලා චිත්‍රපටයක් දුවන්නේ නෑ. චිත්‍රපටයේ කතාව වගේම අධ්‍යක්ෂණය හොඳට කරලා තියෙනවා නම් ඇදුම් පැලඳුම්, වේශ නිරූපණය, කැමරාකරණය, සංස්කරණය වගේ හැම දෙයක්ම හොඳින් වෙලා තිබුණොත් තමයි චිත්‍රපටයක් සාර්ථකව දුවන්නේ.
කාලෙකට පස්සේ ඔබ සහ ටෙනි සිනමාවේ දකින්න ලැබෙද්දී හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති.
ඔව්. මාකට් එකේ තැඹිලි නැතිව තිබිලා මාකට් එකට තැඹිලි වල්ලක් ගෙනාවා වගේ තමයි අපි ආවම. මේක මහා ලොකු වැඩක් නෙවෙයි. නමුත් ප්‍රේක්ෂකයෝ සතුටු වුණා අපිව ආයෙත් දකින්න ලැබෙද්දී.

මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයෝ දිනා ගනියිද?

ඒක කොහොම වෙයිද දන්නේ නෑ. ඒක තියෙන්නේ රසිකයෝ අතේ.

දශක තුනකට අධික කාලයක් ඔබ සහ ටෙනි එකට වැඩ කරනවා. එදා මෙදාතුර ඔය සුසංයෝගයේ පලුදු වීමක් වුණේම නැද්ද?

අපේ සුසංයෝගය සිංහල සිනමාවට ආදර්ශයක් විය යුතුයි. අපේ සම්බන්ධය පලුදු වුණේ නැහැ. අපි ගැන එක එක අය එක එක කතා කියනවා ඇති. නමුත් අපිට ප්‍රශ්න නැහැ. බොහෝ වෙලාවට ජනප්‍රිය රංගන ශිල්පීන් ඔවුන් හිතවත් රංගන ශිල්පිනියව තමයි රඟපාන්න ගන්නේ. නමුත් අපි එහෙම නෑ. ස්වාධීනව රඟපෑවා එතැනින් ගියා.

ඔබ දැන් දශක හතරකටත් වඩා සිනමාවේ ඉන්නවා. නමුත් තවම ඔබට ජනප්‍රිය නළු සම්මානය ලැබිලා නෑනේ?

මම දැන් වසර 49ක ඉඳන් ජනප්‍රිය සිනමාවේ ඉන්නේ. හැබැයි මට මේ වෙනකල් ජනප්‍රිය නළු සම්මානයක් ලැබිලා නැහැ. ජනප්‍රිය නළු සම්මාන බලාගෙන ඉන්නෙත් නැහැ. ජනප්‍රිය නැත්නම් ජනප්‍රිය සිනමාවේ වසර 49ක් ඉන්නේ කොහොමද? මට නම් තේරෙන්නේ නැහැ අපිත් එක්ක තියෙන වෛරය මොකද්ද කියලා.

ඔබ දැන් පුංචි තිරයෙත් දකින්න ලැබෙනවා?

ඔව්. දන්කුඩ බණ්ඩා කියන ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඒක දරුවන්ගේ කතාවක්. ඒ නිර්මාණයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

යමරජ සිරි චිත්‍රපටයේදී ඔබේ පුතත් ඔබ සමඟ ගායනයට එකතු වෙනවා?

ඔව්. මගේ පුතා කාංචන මුලින්ම පසුබිම් ගායනයට එකතු වුණේ පීටර් වන් චිත්‍රපටයේ. දෙවැනි වතාවට තමයි යමරජ සිරි චිත්‍රපටයේ පසුබිම් ගායනයට එකතු වුණේ. ටෙනිගේ රංගනයට තමයි පුතා මාත් එක්ක ගීතය ගායනා කළේ.

පුතාව රංගනයට ගේන්න අදහසක් නැද්ද?

එයාට හරියට චරිතයක් ලැබුණොත් එයා රඟපායි. දැනට එයා අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා තියෙනවා. පුතා රංගනයට එනවට මගේ අකැමැත්තක් නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon