ලොකු ලොකු බොලිවුඩ් තරු ගත්ත මුල්ම පඩිය

  👤  2102 readers have read this article !
Published by : MB WEB 2018-04-20 17:36:59

බොලිවුඩ් නළු නිළියෝ අද වෙද්දි මුදල් උපයන්නේ කෝටි ගණනින්. ඒත් බොලිවුඩයේ සුපිරි තරු බවට පත්වෙන්න කලින් ඔවුන් ගත කරලා තියෙන්නේ සාමාන්‍ය ජීවිතයක්. බොලිවුඩයේ සුපිරි තරු මාවතක කෝටි ගණන්වලින් සිහින දකින්න කලින් ඔවුන්ගේ ජීවිත පටන් ගත්තේ රුපියල්වලින්. සුපිරි තරුවක් වෙන්න කලින් ඔවුන් අතට ගත්ත පළමුවැනි පඩිපත ගැන ඇහුවොත් ඔබට පුදුම හිතේවි.

අමිතාබ් බච්චන්, එහෙමත් නැත්නම් බිග් බී බොලිවුඩයට පය තියන්න කලින් කොල්කටාවේ පිහිටි නැව් සමාගමක විධායක නිලධාරියෙක් විදියට තමයි සේවය කරලා තිබුණේ. ඔහුගේ පළමුවැනි වැටුප වෙලා තිබ්බේ ඉන්දීය රුපියල් පන්සියයක්.

බොලිවුඩයෙන් එහා ජාත්‍යන්තරයත් ජයගත් ඉර්ෆාන් ඛාන් එයාගේ පළමු රැකියාව විදියට තෝරගෙන තිබුණේ ගුරු වෘත්තිය. ඔහුගෙන් අධ්‍යාපනය ලබාගන්න පැමිණි එක් දරුවකුගෙන් ඉන්දීය රුපියල් විසිපහක් අය කරලා තිබුණා. එදා ගුරු වෘත්තියෙන් පටන් ගත්ත ඉපැයීම අද වෙද්දි ඩොලර් ලක්ෂ ගාණක් බවට පත්වෙයි කියලා ඉර්ෆාන්වත් නොසිතන්න ඇති.

සිනමා නිර්මාණකරුවෙක් වු කුකු කොහිල් යටතේ සහාය නිෂ්පාදකවරයෙක් විදියට සේවය කළ රෝහිත් ෂෙට්ටිගේ පළමු ගෙවීම විදියට ලැබිලා තියෙන්නේ ඉන්දීය රුපියල් තිස්පහක්. ඉන්දීය රුපියල් 35ක දවසේ පඩියට ඉන්දීය සිනමාකරුවකු යටතේ වැඩ කරපු රෝහිත් අද වෙද්දි බොලිවුඩයේ දැවැන්ත නමක හිමිකාරයෙක්.

බොලිවුඩයේ රජු වුණු ෂාරුක් ඛාන්ගේ පළමුවැනි පඩිය ඉන්දීය රුපියල් පනහක්. හා හා පුරා කියලා අතට ගත්ත මුදල ඉතිරි කරන්න නම් ෂාරුක්ට කිසි වුවමනාවක් තිබිලා නැහැ. ෂාරුක්ට ඉතිරි කිරීමට වඩා වැදගත් වෙලා තියෙන්නේ ආශාව. අතට ගත්ත පළමුවැනි රුපියල් පනහෙන් ආග්‍රාවලට ඇවිත් ටාජ් මහල බලන්න. ඒ සල්ලි ලෝභ නැතිවම දුම්රිය ටිකට්පත්වලට වියදම් කරලා තියෙන්නේ ඒ නිසා.

සහාය අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කරපු අමීර් ඛාන්ට මුලින්ම ලැබිලා තියෙන්නේ ඉන්දීය රුපියල් 1,000ක චෙක්පතක්. ඒ ඇරැඹි ගමනත් එක්ක අද වෙද්දි නළුවෙක් විදියට අමීර් ඊට වඩා විශාල මුදලක් උපයනවා. ළමා නළුවෙක් විදියට බොලිවුඩයට පය තිබ්බ රිතික් එයාට ලැබුණු පළමුවැනි වැටුප වියදම් කරලා තිබ්බේ පොඩි සෙල්ලම් කාර් එකක් මිලට ගන්න. ඒ ඉන්දීය රුපියල් සියයක්. ප්‍රියංකා චොප්රා එයාට ලැබුණු ඉන්දීය රුපියල් 5,000 පළමු චෙක්පත දීලා තිබුණේ එයාගේ අම්මට. අදටත් ඒ මුදල ගිණුමක සුරැකිව තියෙනවාලු. අක්ෂේ කුමාර් මුලින්ම වැඩ කරලා තියෙන්නේ සූපවේදියෙක් විදියට. ඒ බැංකොක්වල. සූපවේදියෙක් විදියට වැඩ කරද්දී ඉඳලා හිටලා වේටර් රස්සාවත් කරන්න වෙලා. අක්ෂේගෙ මුල්ම පඩිය රුපියල් 1,500ක්ලු. බැංකොක් ඉඳන් බොලිවුඩයට එන ගමන්මඟ එතරම් සුන්දර නොවුණත් අද වෙද්දි අක්ෂේ කියන්නේ කෝටි ගණන්වලින් මුදල් හම්බ කරන සුපිරි තාරකා ලැයිස්තුවේ ඉන්න කෙනෙක්.

සවනි ශේශාධි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon