කැනඩාවේ තරුණියකට සුරේෂ්ගේ හිත ගිහින්

  👤  3145 readers have read this article !
Published by : MB WEB 2018-04-20 16:28:48

සුරේෂ් ගමගේ කියන්නේ සිනමාවෙන් කලා ලෝකයට ප්‍රවේශ වූ කලාකරුවෙක්. ඉන් පස්සෙ ඔහු ගොඩක් ප්‍රසිද්ධ වුණේ නර්තන ශිල්පියකු හැටියට. ඒත් මේ වෙනකොට නම් සුරේෂ්ව බොහෝ දෙනා හඳුනන්නෙ ගායකයකු හැටියටයි.

සීත යාමේ මා සොයන්නේ
තනිකමක් දැනුණා
මීදුමෙන් මා සනසවන්නේ
සිසිලසක් දැනුණා
හදවතින් මා ඉකි ගසන්නේ
ඇයිද මං තනිවී

මේ දවස්වල විද්‍යුත් නාළිකාවලින් ඇහෙන දකින සුරේෂ්ගේ අලුත්ම ගීතය තමයි ඒ. මේ ගීතයේ පද රචකයා වගේම තනු නිර්මාණ ශිල්පියා විදියට කටයුතු කරමින් සුරේෂ් කලාවේ අලුත් පැත්තකටත් අත ගහලා.

තනිකම ගැන ගීතයක් ලියලා ඒකට තනුවකුත් නිර්මාණය කරලා සුරේෂ්ට ගායනා කරන්න හිතුණෙ ඇත්තටම තනිකමක් දැනුණු හින්දද?

ඇත්තටම නිර්මාණයක් කරද්දී බොහෝ වෙලාවට පාදක වෙන්නේ තමන්ගෙ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම්. මං මුලින් මේ ගීතය ලිව්වේ එහෙම නිශ්චිත අත්දැකීමක් ගැන හිතලා නෙවෙයි. ඒත් ඒක නිර්මාණය වෙලා අහද්දි මට හිතුණා මං මේ කතා කරන්නේ මගේ තනිකම ගැන නේද කියලා.

ඒ තනිකමට හේතු වුණු කෙනා කවුද?

සිනමාවට එන කාලෙ මට බොහොම 'සීරියස්' ලව් එකක් තිබුණා. ඒත් මගෙ කාර්යබහුලත්වය එක්ක එයා වෙනුවෙන් වැය කරන්න කාලය මදි වුණු හින්දා ඒ ආදරය අතහැරුණා.

සුරේෂ් කලාවට ආවේ සිනමාවෙන්. ඒත් දැන් ඒ පැත්ත ගැන හිතන පාටක්වත් නැහැ?

මම රඟපෑම අමතක කරලා නැහැ. ඒත් පහුගිය දවස්වල මට වැඩිපුරම අවස්ථාව ලැබුණේ සන්දර්ශනවලට සහභාගි වෙන්න. ඒ හින්දා මට හිතුණා දැන් මගේම කියලා වැඩිපුර සින්දු ටිකක් කරන්න. මං මුලින්ම කළේ 'සිහින මනමාලි' ගීතය. ඊළඟට 'මේ සීත යාමේ' ගීතය. දැන් මට ඕනේ මගේම ගීත කීපයක් කරගෙන සංගීත දිවියෙ ඉදිරියටම යන්න.

ඒ කියන්නෙ රඟපෑමෙන් අෑත් වෙනවද?

නෑ... එහෙම අදහසක් නැහැ. මං රඟපාපු චිත්‍රපට දෙකක් එන්න තියෙනවා. ඒ වගේම තවත් චිත්‍රපට නිර්මාණයකට හවුල් වෙන්නත් සැලසුම් කරලා තියෙනවා. අනික අද චිත්‍රපට කර්මාන්තය තියෙන තැන බැලුවම මට හිතෙනවා මේ ලැබිලා තියෙන පැත්ත දියුණු කරගෙන යන එක තමයි නුවණට හුරු කියලා.

සුරේෂ්ගෙ ජීවිතයෙ තිබුණු ලොකුම හීනයකුත් හැබෑ කරගත්තා නේද?

ඔව්. මගෙ හිතේ තිබුණු ලොකුම හීනයක් තමයි. 'කාසල් හවුස්' එකක් හදාගන්න එක. මං එක එක රටවලට යද්දි මේ වගේ ගෙවල් දැකලා තියනවා. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ කියවපු රෝමයේ ජුලියස් සීසර් සම්බන්ධ කතාවලදීත් මේ වගේ ඇඳපු ගෙවල් මං දැකලා තියෙනවා. ඉතින් ඒ කාලෙ ඉඳලම මගේ හිතේ තිබුණා මේ වගේ ගෙයක් හදාගන්න. කොහොම හරි මට ඒ හීනය හැබෑ කරගන්න දෙවියන් වහන්සේ මඟ පාදලා දුන්නා.

නිවෙසක් හැඩ කරන්න ගැහැනියකුත් ඕනෙ කියනවනෙ. ඒ දේ කවදා ඉටු වෙයිද?

මං හිතන්නෙ එන අවුරුද්දෙ විතර ඒක සිදු වේවි.

ඒ කියන්නෙ දැනටමත් ඒකට අවශ්‍ය කරුණු කාරණා සිද්ධ වෙලා කියන එකද?

ම්... නැත්තෙත් නැහැ.

අඩමාන කතා නැතුව කෙළින්ම කියමුකෝ?

එහෙම සම්බන්ධයක් තියෙනවා, අවුරුදු දෙක තුනක ඉඳලා. ඇය කැනඩා ජාතික තරුණියක්. ඉන්නෙ ඉතාලියේ. ඉගෙන ගන්න ගමන්ම ඇය ගුවන් සේවිකාවක් විදියට කටයුතු කරනවා.

ඇයගෙන් සුරේෂ්ගේ කලා කටයුතුවලට සහයක් ලැබෙනවා ඇති?

ඔව්. එයා මට උපරිම නිදහසක් දීලා තියෙන්නේ. හොඳ වැටහීමකුත් තියෙනවා ඇයට. එයාගෙ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරලා මගෙ ගායන ජීවිතයේත් යම් ස්ථාවරත්වයක් ඇති කරගෙන පිළිවෙළක් වෙන්න තමයි දෙන්නගෙම අදහස.

ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon