වසර දහයකට පසු බන්දු-ටෙනී රඟන බයිස්කෝප් එකක් තිරයට ඇවිත්

  👤  2568 readers have read this article !
Published by : MB WEB 2018-04-07 13:57:12

ඔබේ කුලුඳුල් අධ්‍යක්ෂණය ප්‍රේක්ෂකයන් අතරට ගෙනත්?

ඔව්. යමරජසිරි කියන්නේ මගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය. 29 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක මේ චිත්‍රපටය තිරගත වෙන්න ගත්තා. බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පින් ශිල්පිනියන් රංගනයෙන් දායක වන හොඳ බයිස්කෝප් එකක් මේක.

ඔබ මුලින්ම අත ගහන්නේ කොමඩි චිත්‍රපටයකට?

ඔව්. මට අවස්ථාව ලැබුණා හොඳ බයිස්කෝප් එකක් කරලා මගේ ගමන පටන් ගන්න. එතැනදි මට අවශ්‍ය පසුබිම සහ මට අවශ්‍ය දේ කරගන්න ගොඩක් අය මාත් එක්ක එකතු වුණා.

සංකල්ප සිනමා අධ්‍යක්ෂණයට අතගහන්නේ හැදෑරීමක් ඇතුවද?

මට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු ගාණක අත්දැකීම් තියෙනවා. මම චිත්‍රපට දහයක සහ ටෙලි නාට්‍ය හතළිහක විතර වැඩ කරලා තියෙනවා. මම කලා ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ සංගීත ශිල්පියෙක් විදියට. වෙළෙද දැන්වීම් කිහිපයක් කරන්නත් මට පුළුවන් වුණා. ඉන්දියන් ප්‍රඩක්ෂන්වලට සම්බන්ධ වෙලා ඉන්දියානු නාට්‍ය කිහිපයක වැඩ කරන්නත් ලැබුණා. සංස්කරණ ශිල්පියෙක් සහ චිත්‍රපට කැමරාකරණ ශිල්පියෙක් ලෙසත් වැඩ කරන්න ලැබුණා. කලා ක්ෂේත්‍රයේ කටයුතු කිරීම හරහා මට තව තවත් හැදෑරීම් කරන්න පුළුවන් වුණා. ඒ වගේම ජාතික චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමා පාඨමාලාව කරද්දි මට විවිධ අධ්‍යක්ෂවරු යටතේ අධ්‍යක්ෂණය ගැන බොහෝ දේවල් ඉගෙන ගන්නත් පුළුවන් වුණා.

සිනමා අධ්‍යක්ෂණයට එකතුවීමේ අපේක්ෂාව තිබුණු නිසාද සිනමාවේ විවිධ පැතිකඩ ස්පර්ශ කළේ?

අධ්‍යක්ෂවරයෙක් විදියට එන්න මට ලොකු සැලසුමක් තිබ්බේ නෑ. නමුත් මම විවිධ ක්ෂේත්‍ර ස්පර්ශ කරමින් මගේ ගමන ගියා. මට 'යමරජසිරි' කියන චිත්‍රපටය කරන්න ලැබෙන්නේ අහඹු අවස්ථාවක.

කොහොමද ඒ අහම්බය සිද්ධ වෙන්නේ?

බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ මහත්වරු එකතු කරගෙන අපේ චිත්‍රපට ආයතනයකින් අපි චිත්‍රපටයක් කරන්න ගියා. ඒ අවස්ථාවේදී බන්දු සමරසිංහ මහත්මයා කිව්වා ඔහු පැමිණෙන්නේ මාත් එක්ක වැඩ කරන්න කියලා. ගොඩක් අධ්‍යක්ෂවරුන්ගේ නම් යෝජනා වුණත් බන්දු සමරසිංහ මහත්මයාගේ යෝජනාව වුණේ මාව. මම මුලින්ම කරන්න හිටියේ ළමා චිත්‍රපටයක්. මේ අවස්ථාව අහම්බෙන් ලැබුණු නිසා සහ මෙය ඉතා ඉක්මනින් රූගත කරන්න අවශ්‍යතාව තිබුණු නිසා මට වෙනස් ගමනක් යන්න සිද්ධ වුණා.

මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්න අහඹු අවස්ථාවක් ලැබෙද්දි චිත්‍රපටය සාර්ථකව කරගැනීම ගැන දෙගිඩියාවක් ඇති වුණේම නැද්ද?

අධ්‍යක්ෂණය ගැන මට ප්‍රශ්නයක් තිබ්බේ නෑ. මම සාමාන්‍යයෙන් නිහඬ චරිතයක්. මට එතැනදි ගැටලුවක් තිබ්බා පිරිස හසුරුවා ගන්න පුළුවන් වෙයිද කියලා. එතැනදි මට සහාය දක්වපු පිරිසක් ඉන්නවා. සහාය අධ්‍යක්ෂවරු තුන්දෙනා සහ නිෂ්පාදන සම්බන්ධීකාරක ඇතුළු පිරිසගෙන් මට ලොකු හයියක් ලැබුණා. මම අධ්‍යක්ෂණය කියන විෂය නොදැන නෙවෙයි කළේ. ඒ නිසා මට වෙන බයක් තිබුණේ නැහැ. චිත්‍රපටයක් කරන්න පුළුවන්. චිත්‍රපටය සාර්ථක නිර්මාණයක් ලෙස එළියට දාන එක තමයි අමාරුම දේ. සිනමාශාලාවලට ප්‍රේක්ෂකයෝ ගෙන්න ගන්න ඕන කියන අදහසින් මම වැඩ කළේ. බන්දු සහ ටෙනී මහත්වරු දෙන්නා මුණගැහුණම තමයි මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට අරන් යන්න ඕන කොහොමද කියලා මම කල්පනා කළේ.

බන්දු සහ ටෙනී මේ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තේ ප්‍රේක්ෂකාගාරය අල්ලා ගැනීමේ පහසුවටද?

තරු සංකල්පය සිනමා කර්මාන්තයේ පැවැත්මට වැදගත්. 80 දශකයෙන් පස්සේ තරු සංකල්පය බිඳ වැටෙනවා. චිත්‍රපට හරහා දැක්ක දැවැන්ත තරු චරිත ටෙලිවිෂනය හරහා හුදකලා සරල චරිත වෙනවා. ඒ හරහා තරු සංකල්පය කියන මැජික් එක නැති වෙනවා. මට ඕන වුණා ඒ මැජික් එක ගේන්න. මිනිසුන්ගේ හදවතට කතා කරන්න පුළුවන් නළු නිළියෝ ඉන්නේ ඉතාම සුළු පිරිසක්. ඒ දැනෙන රංගන ශිල්පීන් දෙදෙනෙක් අරගෙන වැඩක් කරන්න පුළුවන් වෙනවා කියන්නේ මගේ භාග්‍යයක්.

බන්දු - ටෙනී සුසංයෝගය සිනමාවේ දකින්න ලැබෙන්නෙත් කාලෙකට පස්සේ?

ඔව්. අවුරුදු දහයකට විතර පස්සේ තමයි බන්දු - ටෙනී කියන රංගන ශිල්පීන් දෙන්නා එක නිර්මාණයක් ඇතුළේ දකින්න ලැබෙන්නේ.

දැන් බොහෝ කොමඩි චිත්‍රපට යන්නේ එක රැල්ලක. 'යමරජසිරි' ඒ රැල්ල බිඳියිද?

දෙපිට කැපෙන වචන, පරුෂ වචන පාවිච්චි කරලා තමයි දැන් මිනිස්සුන්ව හිනා ගස්සන්න පුරුදු වෙලා තියෙන්නේ. මගේ චිත්‍රපටයේදී මට අභියෝගයක් වුණා එවැනි දේ නැතුව මේ චිත්‍රපටය පවුලේ හැමටම එකට ඉඳගෙන නරඹන්නට හැකි චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්න. වෙනදා අපි දකින බන්දු සහ ටෙනී කියන දෙන්නා නෙවෙයි මේ චිත්‍රපටයේ ඉන්නේ.

මේ නිර්මාණයෙන් ප්‍රේක්ෂකයෝ අල්ලගන්න පුළුවන් වෙයිද?

ඔව්. මම එහෙම හිතනවා. මෑත කාලීනව චිත්‍රපට ශාලා වැඩි ප්‍රමාණයක මේ චිත්‍රපටය පෙන්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටය ගැන මේ වෙනකොටත් බොහෝ දෙනෙක් කතා වෙනවා. චිත්‍රපටයට ඉල්ලුමක් තියෙන බවක් දැනෙනවා. ප්‍රේක්ෂකයෝ වැඩි ප්‍රමාණයක් සිනමා ශාලාවකට ගෙන්න ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වීම ගැන සතුටුයි.

අලුත් නිර්මාණ ගැන සැලසුමක් ඇති?

මම කාලයක ඉඳන් සැලසුම් කරගත්ත ලොකු වැඩක් තියෙනවා. ඒ ළමා චිත්‍රපටයක්. ඒක ලංකාවේ වෙනස් වැඩක් වෙයි. මේ අවුරුද්දේ ජුනි මාසෙන් පස්සේ එහි රූගත කිරීම් පටන් ගන්නවා. මගේ චිත්‍රපටයක් එළියට එන්නත් කලින් මං වටා නිෂ්පාදකවරු පිරිසක් එකතු වෙලා ඉන්නවා අලුත් වැඩ කරන්න. මම ඒ සම්බන්ධයෙනුත් හරිම වාසනාවන්තයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon