වසර පහළොවකට පසු 'සිහ ශක්ති' කරළියට ගේන්න සූදානම්

  👤  2437 readers have read this article !
Published by : MB WEB 2018-03-23 15:16:41

'සිහ ශක්ති' කණ්ඩායම නව ආරම්භයක් තියන්න ලෑස්ති වෙනවා කියලා ආරංචියි?

ඔව්. අපේ 'සිහ ශක්ති' බෑන්ඩ් එකෙන් කළ වෙනස සහ අපි ඒ කළ දේ කරන්න තවමත් බෑන්ඩ් එකක් ආවේ නෑ. ඒ නිසා සිහ ශක්ති බෑන්ඩ් එක නැවත පටන් ගන්න කියලා බොහෝ දෙනකුගෙන් ඉල්ලීම් ආවා. අපි දේශීය අනන්‍යතාව රැකගෙන ආව බෑන්ඩ් එකක්. ඒ හඬ සහ ශෛලියේ බෑන්ඩ් එකක් බිහිවුණේ නැති නිසා තමයි සිහ ශක්ති නැවත පටන් ගන්න කියන ඉල්ලීම වැඩි හරියක් එන්නේ.

සිහ ශක්ති බෑන්ඩ් එක ලොකු කාලයක් නිහඬ වෙලා තිබුණා නේද?

ඔව්. අපි සිහ ශක්ති කණ්ඩායමේ වැඩ නතර කළේ 2003දී.

බෑන්ඩ් එකේ වැඩකටයුතු හිටි හැටියේ නතර කරන්නත් හේතුවක් තියෙන්න ඇතිනේ?

අපේ කණ්ඩායමේ හිටපු හේමපාල ගාල්ලගේ මහත්මයා අපිව හැරගියා. ඒක අපෙත් අවාසනාවක්. රටෙත් අවාසනාවක්. ඒ වගේම ඒ වකවානුවේදී මගෙ තුන්වැනි දරුවා ජීවිතය හැර ගියා. ඒත් එක්ක මට සංගීත කණ්ඩායම කරගෙන යන්නත් හොඳ මානසික තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ වගේම මමත් අසනීප තත්ත්වයකින් හිටියේ. අපේ ප්‍රේක්ෂකයෝ අපේ කණ්ඩායම බලාපොරොත්තු වුණේ මාත් එක්කම. ඉතිං මට ඒකට සම්බන්ධ වෙන්න බැරිකම නිසා බෑන්ඩ් එක කළා ඇති කියලා හිතලා බෑන්ඩ් එකට සමුදුන්නා.

ඒ වෙනකොටත් ඉහළ රසික ප්‍රතිචාර ලබන කණ්ඩායමක් ලෙස 'සිහ ශක්ති' නම දිනාගෙනයි හිටියේ. ශක්ති කණ්ඩායමෙන් එළියට පැනලා බිහිකරපු සිහ ශක්ති ආරම්භය ගැනත් කියමු?

ඇන්තනී සුරේන්ද්‍ර 1988 'ශක්ති' ආරම්භ කළා. මම සම්බන්ධ වුණේ ශක්ති දෙවැනි ප්‍රසංගයට. 1988, 89 කාලයේදී ශක්ති කණ්ඩායමේ ගීත ගායනා කළේ නැහැ. මම සම්බන්ධ වුණාට පස්සේ තමයි ගායනා කටයුතු පටන් ගත්තේ. සාමාජිකයන්ගේ යම් යම් වෙනස්වීම් එක්ක ඉදිරියට ඇවිත් 1994දී පොඩි මතගැටුමක් නිසා පස් දෙනෙක් ශක්ති කණ්ඩායමෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ තමයි ඒ පිරිස එකතු වෙලා සිහ ශක්ති බෑන්ඩ් එක ආරම්භ කළේ. අපිට ඒ යුගයේ ලොකු රසික පිරිසක් හැදුණා.

කාලයක් නිහඬ වෙලා හිටියත් 'සිහ ශක්ති' කණ්ඩායම රසිකයන්ට අමතක වෙලා නෑ නේද?

තාමත් අපිව මතක අය ඉන්නවා. 1990 වගේ කාලයේ හිටපු පොඩි ළමයි දැන් ලොකු වෙලා. ඒ අයටත් අපිව මතකයි. අපි මාධ්‍යවල කළ වැඩසටහන් මාධ්‍යවල නැවත විකාශය වුණේ නැහැ. ඒ නිසා දැන් ඉන්න පොඩි පරම්පරාව නම් අපිව හඳුනන්නේ නැහැ. අපිව මතක අය තමයි අපිව තාමත් හොයන්නේ.

මුලින් කණ්ඩායමේ සිටි පිරිසම නැවත 'සිහ ශක්ති' කණ්ඩායමට එකතු වෙනවාද?

ඔව්. මම, අශෝක පෙරේරා, සංගීත් වික්‍රමසිංහ, ජයන්ත රත්නායක, මහේන්ද්‍ර පැස්කුවල්, ධනංජය සෝමසිරි, ලෙලුම් රත්නායක 'සිහ ශක්ති' අලුත් ආරම්භයට එකතු වෙනවා. ඊට අමතරව අලුත් වාද්‍ය ශිල්පීන් දෙදෙනකුත් අපි සම්බන්ධ කරගන්නවා.

පැරැණි මිත්‍රයන්ම නැවත කණ්ඩායමට එකතු කරගන්න අපහසු වුණේ නැද්ද?

නැහැ. මොකද ඔවුන් වෙන සංගීත කණ්ඩායම් එක්ක සම්බන්ධ නැහැ. නිදහස් වාදකයෝ ලෙස හිටපු නිසා ඔවුන්ව සම්බන්ධ කරගන්න අපහසු වුණේ නැහැ

දැන් බිහිවන සංගීත කණ්ඩායම්වල තත්ත්වය ඔබ සුබවාදීව දකිනවාද?

දැන් තියෙන හැම සංගීත කණ්ඩායමකටම ‍ෙදාස් කියන්නේ නෑ. දැන් ඉදිරියට ඇවිත් ඉන්න අය අතර ප්‍රමිතියක් අනුව දක්ෂතා තියෙන අය ඉන්න කණ්ඩායම් ඉන්නවා. හැබැයි එළිමහන් ප්‍රසංගවල ඇහෙන ශෛලිය තමයි හැමතැනම ඇහෙන්නේ. එකම ශෛලියකට බොහෝ දෙනෙක් හුරුවෙලා. ඉතිං රසිකයන්ටත් වෙනසක් ඕන. ඒකයි අපිව ආයෙත් බලාපොරොත්තු වෙන්නේ.

දැන් යන රැල්ලට හුරු වෙලා ඉන්න රසිකයෝ 'සිහ ශක්ති' වෙනසට ආයෙත් මුහුවෙයිද?

අලුත් දෙයක් නැති නිසා තමයි රසිකයෝ ඇහෙන දෙයෙහි එල්ලිලා ඉන්නේ. බස්වල යද්දී ත්‍රීවීල් එකක යද්දී මියුසික් ඇහෙනවා. ඒවා අහනවා නෙවෙයි බලෙන් අස්සවනවා. ඒ නිසා රසිකයන්ට වෙනසක් ඕන.

'සිහ ශක්ති' අලුත් ආරම්භයෙන් පස්සේ එදා වගේම තෝරා ගැනීම් එක්ක වැඩ කරයිද?

අනිවාර්යයෙන්ම. අපිට එක දිගට වැඩ කරන්න අමාරුයි. මාසයකට ප්‍රසංග දෙක තුනක් වගේ කරන්න පුළුවන්. මම සංගීත පන්ති පවත්වනවා. ඒ නිසා නිතර නිතර ප්‍රසංග කරන්න බැහැ. කණ්ඩායම නැවත පටන්ගන්නවා කියන ආරංචියට විදෙස් ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවා. අපිට කරන්න පුළුවන් විධියට වැඩ තෝරගෙන කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ

'සිහ ශක්ති කණ්ඩායමේ ජනප්‍රිය වුණු ගීත තියෙනවා. අලුත් ගීත කරන්න අදහසක් නැද්ද?

2001 වගේ කාලයේදී අපි කරපු ඕරයිරේ සංයුක්ත තැටියේ තමයි අපේ ගීත ඇතුළත් වුණේ. පරසිදු කරලියද්ද, දෝන කතිරිනා, ඔරයිරේ වගේ බොහෝ ගීත ජනප්‍රිය වුණා. ඉදිරියේදීත් අපේ ගීත නිර්මාණය කරන්නත් අදහසක් තියෙනවා.

හා හා පුරා කියලා 'සිහ ශක්ති' එළියට බහින දින නියමයක් තියෙනවාද?

අපි දැනට පුහුණුවීම් කරගෙන යනවා. ධනංජය සහ මහේන්ද්‍ර දැනට විදේශගතවෙලා ඉන්නේ. මාස දෙකකින් විතර ඔවුන් ලංකාවට එනවා. ඒ ආවට පස්සේ තමයි අපි දින නියමයන් කරන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon