සමහරු ඉන්නේ වරදිනකල්

  👤  2386 readers have read this article !
Published by : MB WEB 2018-03-20 17:16:23

'මම මලක් නොවේ' ඇත්තටම උමාරියා මොකක්ද මේ උමාරියාගේ අලුත්ම කතන්දරය?

ඒ මගේ අලුත්ම ගීතය. මේ ගීතය ලිව්වේ දුමින්ද හඳපාන්ගොඩ. තනු නිර්මාණය කළේ රොහාන් ෆොන්සේකා. දිමිත්‍රි තමයි මේ ගීතය සංගීතවත් කළේ. කාන්තාවන් වෙනුවෙන් කරපු මේ ගීතය සමාජ මාධ්‍යවලින් විතරයි දැනට රිලීස් කළේ.


කාන්තාව ගැන මේ විදියට ගීතයකින් කතා කරන්න හිතුවේ?


අද ගොඩක් වෙලාවට මියුසික් වීඩියෝවල වුණත් පෙන්වන්න උත්සාහ කරන්නේ කාන්තාවන්ගේ නිරුවත. එහෙම පසුබිමක මට ඕන වුණේ කාන්තාවකගේ වටිනාකම ගීතයකින් පෙන්වන්න. ඒකයි කාන්තාවකගේ නිරුවත මාකට් කරන කාලයක මම කාන්තාවකගේ වටිනාකම ගැන කතා කළේ.


මේ ගීතය ලියන්න හේතු වුණෙත් උමාරියාගේ අදහසක් කියන්නේ ඇත්තද?


නිර්මාණයක් කරද්දි එය අරුතක් තියෙන හොඳ නිර්මාණයක් විය යුතුයි කියන අදහස මට තියෙනවා. දුමින්ද හඳපාන්ගොඩ කිව්වා මට ගීතයක් ලියන්න කැමැතියි කියලා. මම ඔහුට කිව්වා හඬක් නඟන්න බැරි කාන්තාවන් වෙනුවෙන් ගීතයක් ලියන්න කියල.


කාගෙත් කතාබහට ලක් වුණු මේ වීඩියෝව රිලීස් කරද්දිත් උමාරියා ලංකාවේ හිටියේ නෑ නේද?


මම ඒ වෙනකොට විදේශගත වෙලා හිටියේ. ගොඩක් කාලයකට කලින් මම භාර ගත්ත වැඩ කිහිපයක් තිබ්බා. ඒ නිසා මම ඒ වැඩ වෙනුවෙන් විදේශගතවෙලා හිටියේ.


මේ වීඩියෝවේ රූප රචනයත් විශේෂයි. වීඩියෝව අධ්‍යක්ෂණය කළෙත් උමාරියාට ගොඩක් සමීප කෙනෙක්?

ඔව්. රූප රචනයේ අදහස මගේ සහ භාතිය ජයකොඩිගේ. මට ඕන වුණා මේ වීඩියෝව කළු සුදු වර්ණවලින් කරන්න. මේ වීඩියෝව අධ්‍යක්ෂණය කළෙත් භාතිය ජයකොඩිමයි. ඒක එයාගේ පළමුවැනි වීඩියෝ අධ්‍යක්ෂණය.

ලිංගිකත්වය ඉස්මතු කරන මියුසික් වීඩියෝ රැල්ල කඩන්නද උමාරියාට වුවමනා වුණේ?

අද කාලේ ගොඩක් අය මියුසික් වීඩියෝවකින් හොයන්නේ නිරුවත. ඒක ට්‍රෙන්ඩ් එකක් වගේම සමහරුන් ඒකට ඇබ්බැහි වෙලා. අපි අපේ නිර්මාණවලින් දෙන්න ඕන නිරුවත නෙවෙයි. අපි සමාජයට දෙන්න ඕන හොඳ දෙයක්. මම කවදාවත් රැල්ලට අහුවෙන්නේ නැහැ. සංගීතය කියන විෂය හරියට තේරුම් ගත්ත කෙනෙක් එය වැරැදි විදියට පාවිච්චි කරන්නේ නැහැ. සංගීතය මගේ ජීවිතය නිසා මම ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නැහැ.

'මම මලක් නොවේ, රොන් රසම ඉල්ලන බඹරුන්ට' මෙහෙම කියන උමාරියාත් බලපෑම්වලට ලක් වුණු කෙනෙක්ද?

ගැහැනු ළමයි සියයට අසූවක් විතර ගත්තොත් ගොඩක් අසරණ තත්ත්වයට පත් වුණු අය. මමත් අසරණ තත්ත්වයට පත්වෙලා තියෙන ගැහැනියක්. ඒ නිසා ඒ හැඟීම මට කියන්න පුළුවන්. මම අසරණ වුණත් මට හොඳ පවුලක් තියෙන නිසා, නිදහසක් තියෙන නිසා මට ඒ අසරණභාවයෙන් එළියට එන්න පුළුවන් වුණා. සමහර කාන්තාවන් පවුල් ජීවිතය ඇතුළේ ඉඳන් අනන්තවත් දුක් විඳිනවා. සමාජය මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා බයෙන් ගැහැනිය තමන් ගැන හිතන්නේ නැතිව දුක්විඳිනවා.

උමාරියාගේ ජීවිතයේ ඔබව අගයන අය වගේම ඔබව පිටුපසට අදින අය, විවේචනය කරන අයත් ඉන්නවා නේද?

අම්මෝ ඕන තරම්. තමන් කරන දේ හරි නම් ඒ කරන දෙයින් කාටවත් හානියක් නැත්නම් අනෙක් අය හිතන පතන දේ වැදගත් නැහැ. සමහරු ඉන්නවා කටකතා පතුරවන්න. මඩ ගහන්න. ඒවා ගණන් ගත යුතු දේවල් නෙවෙයි. සමහරු ඉන්නේ කෙනෙක්ට වරදිනකල්. වරදින මිනිහට අත දෙන්නේ නෑ. කෙනෙක්ට වරදින තරමට ගොඩක් අය කැමැතියි. මගේ අම්මා තාත්තා මට කියලා තියෙන්නේ තමන් වරදක් කරලා නැත්නම් වැරැදි කියන, විවේචනය කරන දේවල් ගණන් ගන්න එපා කියලා.

උමාරියාගේ ජීවිතයට හයියක් වෙන්නේ කවුද?

මගේ අම්මයි, තාත්තයි අක්කයි, අයියලා දෙන්නයි තමයි මගේ ජීවිතයට හයියක් වෙන්නේ. ඒ වගේ පවුලක් ලබන්න තරම් මම වාසනාවන්තයි. අද වන තුරු මම මොන දේ කළත් කරලා තියෙන්නේ මගේ හැකියාවෙන්. මම මහන්සි වෙලා මගේ ඉලක්කවලට යනවා. කවුරු තමන්ගේ ජීවිතයට හිටියත් නැතත් තමන් ආර්ථික වශයෙන්, මානසික වශයෙන් ශක්තිමත් වෙන්න ඕන. මාව වුණත් මානසිකව වට්ටන්න උත්සාහ කරපු අය හිටියා. ඒත් මාව කාටවත් වට්ටන්න බැහැ.

ඒ කියන්නේ තනියෙන් ජීවිතයට මුහුණදෙන්න පුළුවන් ශක්තිය උමාරියාට තියෙනවා?

ඔව්. මට ඒ ශක්තිය උපරිමයෙන් තියෙනවා. මට හොඳ පවුලක් ලැබිලා තියෙන නිසා මට ඕන දෙයකට මුහුණදෙන්න හැකියාව ලැබිලා තියෙනවා.

ඔබ කරන මියුසික් වීඩියෝවල ඔබේ රංගනයක් කැපී පෙනෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත්තොත් නරකද?

මට රඟපාන්න පුළුවන්. නමුත් මගේ ෆැෂන් එක සංගීතය. මම මුල් තැන දෙන්නේ සංගීතයට. වෙන වෙන දේවල්වලට මුහුණදෙන්න ගියොත් සංගීතයට සියයට සියයක් කැපවීම දෙන්න බැරි වෙනවා. ඒ නිසා මම සංගීතයට තමයි පළමුවැනි අවධානය දීලා තියෙන්නේ.

රූපවාහිනි නාළිකාවල රියැලිටි වැඩසටහන් වැහිවැහැලා. ආයෙත් රියැලිටි වේදිකාවක වැඩ පෙන්නන්න අදහසක් නැද්ද?

ආරාධනා නම් ලැබෙනවා. හැබැයි මෙගා ස්ටාර්වලින් පස්සේ ආයෙත් රියැලිටි වැඩකට එන්න අදහසක් නෑ. මොකද ඒ වගේ දෙයකට වෙන් කරන්න මට කාලය අඩුයි.
තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඡායාරූප - අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon