ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයෙන් අද පරදින පිල ඉරිදාට ගෙදර

  👤  2325 readers have read this article !
Published by : MB WEB 2018-03-16 09:47:05

2018 නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව සමඟ ඉරිදා (18දා) පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාවද බංග්ලාදේශයද යන ප්‍රශ්නයට පිළිතුර ලැබෙන තීරණාත්මක තරගය අද (16දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.
ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියෙන් ඉවත්ව සිටි ෂකිබ් අල් හසන් යළිත් කැඳවීමට බංග්ලාදේශය පියවර ගෙන තිබීම හේතුවෙන් ඔහු ඊයේ සවස ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඒ අනුව ඔහු අද බංග්ලාදේශ කණ්ඩායමට එක්වීමට නියමිතව ඇත.

තවද පසුගිය 12 වැනිදා ඉන්දියාව සමඟ පැවැති තරගයේදී මස්පිඬු ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස් සුවය ලබා අද තරගයට සහභාගි වන අතර, අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුරංග ලක්මාල් හෝ දුෂ්මන්ත චමීර වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට එක්වනු ඇති බවද පැවැසේ.
කෙසේ වෙතත් අද පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබන නමුත් කිසියම් හෝ කරුණක් හේතුවෙන් අද තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් ශුද්ධ ලකුණු සටහනේ මේ වනවිට දෙවැනි තැන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

තරග 4කට සහභාගි වී ජයග්‍රහණ තුනක් හිමිකරගෙන සිටින ඉන්දියාව මේ වන විටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකට සහභාගි වී එක් තරගයක් ජයගෙන තරග දෙකක් පරාජය වී ශූද්ධ ලකුණු වේගය -0.072ක් සහිතව මුළු ලකුණු 2ක් ලබා සිටී.
තවද තරග තුනකට සහභාගි වී එක් තරගයක් ජයගෙන තරග දෙකක් පරාජය වී මුළු ලකුණු 2ක් හිමිකරගෙන සිටින බංග්ලාදේශ කණ්ඩායම තෙවැනි තැනට පත්ව තිබෙන්නේ ශූද්ධ ලකුණු වේගය -0.436ක් රඳවා ගනිමිනි.

යම් හෙයකින් අද (16දා) තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් කණ්ඩායම් දෙකටම එක ලකුණ බැගින් ලැබී කණ්ඩායම් දෙකටම මුළු ලකුණු 3 බැගින් හිමිවන නමුත්, ශුද්ධ ලකුණු වේගය අනුව බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීමට හැකියාව පවතී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon