"සඳ කිනිති නැමී" ප්‍රසංගය රැගෙන නෙළුම් පොකුණට ගොඩවෙන ලක්ෂ්මන් විජේසේකර

  👤  1964 readers have read this article !
Published by : MB WEB 2018-03-15 16:48:35

ඔබ මොකක්ද මේ කරන්න සූදානම් වෙන අලුත්ම වැඩ කටයුත්ත..?

මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. එය නම් කරලා තියෙන්නේ "සඳ කිනිති නැමී" නමින්. 17 වැනිදා ප.ව. 7.00ට නෙළුම් පොකුණ රඟහලේදී තමයි එය පවත්වන්නේ. රෝහණ වීරසිංහ තමයි ප්‍රසංගය සංගීතවත් කරන්නේ. මේ ප්‍රසංගය හොඳ ප්‍රසංගයක් වෙයි කියලා හිතනවා.

ඔබ ක්ෂේත්‍රයට ඇවිත් දැන් දශක හතරකටත් වැඩියි නේද..?

ඔව්. 1975දී තමයි මම මුලින්ම සරල ගී ගායනයට එකතු වෙන්නේ. එතැන් සිට මේ දක්වා මගේ ගායන ජීවිතයත් ඉදිරියට ආවා. ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක් රංගන ශිල්පියෙක් ලෙසත් මට කටයුතු කරන්න ලැබුණා.

රසිකයන් ඇදබැඳ ගත්ත ගීත බොහොමයක් ඔබ සතුයි. ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න මෙතරම් කල් ගත්තේ..?

මම දැනට ගීත පනහක් වගේ කරලා තියෙන්නේ. ඇත්තටම මම ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න එතරම් උනන්දු වුණේ නැහැ. නමුත් මගේ 70 වැනි උපන් දිනය සහ ක්ෂේත්‍රය තුළ දශක හතරකට එහා ගමනක් ඇවිත් තියෙන නිසා ප්‍රසංගයක් කළොත් හොඳයි කියල මාව උනන්දු කළේ දුවයි පුතයි. ඒ දෙන්නා මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.

මේ ප්‍රසංගයට සහභාගි වෙන අනෙක් ශිල්පීන් කවුද...?

මාත් එක්ක යුග ගීත ගයන සමිතා මුදුන්කොටුව, නිර්මලා රණතුංග, ප්‍රදීපා ධර්මදාසත් ප්‍රසංගයට එකතු වෙනවා. චන්ද්‍රලේඛා ලංකාවේ නැති නිසා ඇය වෙනුවට වින්ඩි දුව ගායනයට එකතු වෙනවා. ඒ වගේම මම ගී තනු නිර්මාණය කළ ටෙලි නාට්‍ය ගීත දෙකක් ගායනා කරන්න සුනිල් එදිරිසිංහ සහ කෝලිත භානු දිසානායක එකතු වෙනවා.

ඔබේ රසිකයන්ට මේ ප්‍රසංගය විවෘත වෙන්නේ කොහොමද..?

මේ ප්‍රසංගය නොමිලේ පවත්වන්න තරම් මුදල් හොයා ගන්න අපිට බැරි වුණා. ඒ නිසා හිතවත්ම අයට ඇරැයුම්පත් වෙන් කරලා ටිකට් ෂෝ එකක් විදිහට තමයි මෙය පවත්වන්න සූදානම් කරලා තියෙන්නේ.

මේ ප්‍රසංගය දිගටම පවත්වන්න අදහසක් නැද්ද..?

ප්‍රසංගය දිගටම පවත්වන්න නම් අදහසක් නැහැ. මගේ ගීත රසවිඳින පිරිස වෙනුවෙන් යමක් කරන්න හිතාගෙන තමයි මේ ප්‍රසංගයත් පවත්වන්නේ. ප්‍රසංගයක් කරනවා කියන එකත් පහසු නැහැ. ප්‍රසංගයකට යන වියදම දරන්න අපිට හරි අමාරුයි. මොකද අපි ගොඩක් සල්ලි හම්බ කරගෙන තියෙන අය නෙවෙයි. පොඩි පොඩි උදවු ලැබුණ නිසා සහ දුවගෙයි පුතාගෙයි මහන්සියත් එක්ක තමයි මේ ප්‍රසංගයත් සිද්ධ වෙන්නේ.

ප්‍රසංගයේදී ඔබේ අලුත් ගීත අහන්න ලැබෙයිද..?

මගේ පරණ ගීත තමයි එදාට ගායනා කරන්නේ. ඊට අමතරව "ඔබ සඳ එළිය" කියන අලුත් ගීතයත් ගායනා කරන්න හිතාගෙන ඉන්නවා.

ඔබ අලුත් ගීත කරන්න උනන්දු නොවෙන්නේ ඇයි...?

ඇත්තටම දැන් ඛ්ච් එකක් කරලා තේරුමක් නෑ. ඒවට මාකට් එකක් නෑ. අලුත් ගීත කරන්න හිතුවත් අපි මොන විදිහේ ගීත කියන්නද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් තියෙන ට්‍රෙන්ඩ් වෙනස් වෙනවා. ඒත් එක්ක 70,80 දශකයේ ආපු බොහෝ ශිල්පීන්ට ඔය කියන ගැටලුව තියෙනවා.

හැබැයි ඔබේ පැරැණි ගීත ආකෘතියෙම ගීත රසවිඳින පිරිසක් ඉන්නවනේ. ඔවුන් වෙනුවෙන්වත් අලුත් නිර්මාණ කළොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද.?

අපි කරන ගීත විඳින පිරිසක් ඉන්නවා. ඒ පිරිසට අවශ්‍ය ගීත කිහිපයක් කරන්න අදහසක් තියෙනවා.

ඔබ කාලෙකින් රංගන කටයුත්තක දැක්කෙත් නැහැ..?

ඔව් "දත් කැකුලු පාලා" නිර්මාණයෙන් පස්සේ මම රඟපෑවේ නැහැ. වෙළෙඳ දැන්වීම්වල නම් පෙනී හිටියා. ඒත් ටෙලි නාට්‍යවල රඟපාන එක නවත්තලා ගොඩක් කල්.

රංගනයට එකතු වෙන්න අදහසක් නැති වුණාට අධ්‍යක්ෂණයට නම් කැමැත්තක් ඇති..?

අධ්‍යක්ෂණය පැත්තට මම ආසයි. විලම්භීත, දඟයන්ට පමණයි, ටිකිරි සහ උංගි කියන නිර්මාණ තුන මම කළා. තවත් තිර පිටපතක් තියාගෙන ඉන්නවා අධ්‍යක්ෂණය කරන්න. දැන් නාළිකාවලින් ටෙලිනාට්‍යකට දෙන මුදලෙන් නාට්‍ය කරන්න හරි අමාරුයි. හැම තැනම තියෙන්නේ ඒකාධිකාරයක්. බලමු ඉදිරියට යමක් කරන්න පුළුවන්ද කියලා.


තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon