රඟන්න ගිය වේදිකාවේ වහලය කඩා වැටෙයි තිරිමාදුර නූලෙන් බේරෙයි

  👤  1297 readers have read this article !
Published by : MB WEB 2018-03-14 17:17:32

වෙන්න ගිය අනතුරකින් අනූනවයෙන් බේරුණා කියලා ආරංචියි.

ඔව්. ඔව්. පසුගිය 4දා හිතාගන්න බැරි දෙයක් තමයි සිද්ධ වුණේ.

මොකද්ද ඇත්තටම එදා සිද්ධ වුණේ?

පසුගිය 4දා ධ්ඊව් එකේ සුබසාධක සංගමයට ආධාර පිණිස අං ආවෝ නාට්‍යය වේදිකාගත කළා ටවර් රඟහලේදී. නාට්‍යයේ මම රඟපාන්නේ ඇමැති කෙනකුට. බිරිය මගේ ඔළුවට පොල්ලකින් පහර දෙද්දී මම වැටෙනවා. එතැනදී ශාලාව අඳුරු කරනවා. මම ඒ වැටිච්ච තැනින් නැඟිටලා එද්දී ටවර් රඟහලේ සිවිලිමේ තහඩු දෙකක් මම ඒ වැටිලා හිටපු තැනටම කඩාගෙන වැටුණා.

කාටවත් හානියක් වුණාද?

හොඳ වෙලාවට කාටවත් හානියක් වුණේ නෑ. මම ඒ නැඟිටලා තත්පර 15ක්වත් නෑ ඒ ශබ්දය එද්දී. හැමෝම බැලුවා මොකද්ද ඒ ශබ්දය කියලා. මම අනූනවයෙන් බේරුණේ. නැත්නම් මට වෙන්නේ වඳින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුණා වගේ වැඩක්.

ටවර් රඟහල වගේ තැනකත් නාට්‍ය පෙන්වන්න නිසි පසුබිමක් නෑ කියන එක නේද ඔය ඔප්පු වෙන්නේ?

මම අවුරුදු 16ක ඉඳන් තමයි ටවර් හෝල් එකේ රඟපාන්නේ. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා ටවර් රඟහලට කුණු පොදක්වත් වැටෙන්න දුන්නේ නෑ. අද ටවර් රඟහලේ වහල කඩාගෙන වැටෙනවා. මොකද්ද මේ තත්ත්වය. සුද්දන්ගෙන් රට බේරගෙන අවුරුදු 70ක් වෙනවා. ඒත් තාමත් ටවර් රඟහලේ වහලවල් කඩාගෙන වැටෙනවා. මොනවද මේ ඉන්න දේශපාලනඥයෝ කරලා තියෙන්නේ. මේ අවුරුදු 70ටම පත්වුණු දේශපාලනඥයෝ රටට වැඩක් කරලා නැහැ.

වේදනාවෙන් වගේ කතා කරන්නේ?

ඇත්තටම හිතේ ලොකු වේදනාවක් තියෙනවා. අපිට පුංචි තිරයෙන් රිදී තිරයෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒත් අපි වේදිකාවේ රැඳිලා ඉන්නේ වේදිකාවට ආදරේ නිසා. ඒ වගේ ආදරෙන් වේදිකාවේ ඉන්න අපිට හරියට වේදිකාවක් නෑ රඟපාන්න. සිවිලිම් පවා කඩා වැටෙනවා. අපිට කරදයක් වුණොත් කවුද ඉන්නේ. අපිට මොනවා හරි වුණොත් ඔය ලොක්කෝ ඇවිත් ශෝක ප්‍රකාශ කරලා යයි.

ලංකාවේ වසර ගණනක ඉතිහාසයක් තියෙන සුවිශේෂ රඟහලකත් සිවිලිම් කඩා වැටෙන තත්ත්වයක් කියන්නේ කලාවට බලධාරීන්ගේ නිසි අවධානය නැතිකම නේද?

ඇත්තටම ඔව්. මම ටවර් රඟහලේ නිලධාරීන්ගෙන් ඇහුවා කවුද මේකට වග කියන්නේ කියලා. ඒත් ඒ ගැන කියන්න කෙනෙක් නෑ. මොකද්ද තියෙන තත්ත්වය. කෝ මේ රඟහල නවීකරණය කරන්න දුන්න සල්ලි. ඒවට මොකද කළේ. අපිට මේ තත්ත්වය ගැන කියන්න කෙනෙක් නෑ. ඇත්තටම රට අරාජික වෙලා තියෙන්නේ.

මේ සිද්ධිය වෙන වෙලාවේ ඔබත් සමඟ හිටපු රංගන ශිල්පීන් කවුද?

ක්ලීටස් මෙන්ඩිස්, සුනිල් ශ්‍රී , අවන්ති අපෝන්සු වගේම ටවර් රඟහලේ නිලධාරීනුත් හිටියා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon