ශ්‍රී දේවිගේ මරණය නිසා බොලිවුඩ් තරු ගැන අමුතු කතා එළියට

  👤  3241 readers have read this article !
Published by : MB WEB 2018-03-12 16:30:59

දශක ගණනාවක් තිස්සේ බොලිවුඩ් සිනමා අඹරේ සරා සඳ වූ ශ්‍රී දේවි සිය ජීවන රඟමඬලටද හදිසියේ සමුදුන්නේ ඇයගේ අවසානය සම්බන්ධයෙන් සැක සංකා ඉතිරි කරමිනි. කෙසේ වුවද ඇයගේ මෙම හදිසි සහ ඛේදනීය නික්ම යෑම බොලිවුඩ් සිහින පුරවරය සමඟ බැඳුණු කාන්තාවන් මුහුණ දෙන කටුකත්වයන් ඔවුන්ගේ ජීවිතවලට ඇතිවන පීඩාවන් මෙන්ම ශරීර සෞඛ්‍යයට සහ ජීවිත පැවැත්මට ඇතිවන අයහපත් බලපෑම් පිළිබඳව සංවාදයකට මුලපුරා තිබේ.

බොලිවුඩ් පුරවරය තුළ මෙන්ම ඊට පිටතින්ද මේ පිළිබඳව කෙරෙන කතාබහ අතරතුර නිදහස් ලේඛකයකු වන සුධා ජී. තිලක් (Sudha G. Tilak) විසින් බී.බී.සී. යට ලියූ ලිපියක් බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබේ.

පහත සඳහන් වන්නේ එම ලිපියේ උපුටා ගත් කරුණුය.

''වයසට යෑම සඟවා ගනිමින් තරුණ බව පෙන්වීමේ දුෂ්කර සටන මෙන්ම නිර්ලජ්ජිත ලෝකාපවාදයන්ගෙන් ගැලවීම සඳහා කඩිමුඩියේ සිදුකරන කටයුතුත් හොලිවුඩ් සිනමාවට පමණක් ආවේණික වූ දේ නොවේ. පීතෘමූලික මානසික භාවය සහ පිරිමින්ට වඩා තරුණ ගැහැනුන් සූරාකෑම පිළිබඳවත් බොලිවුඩයට, හොලිවුඩයට වඩා වැඩි නරක ඉතිහාසයක් තිබිය හැකි බව තරුණ බොලිවුඩ් නළුවකු සඳහන් කළේ ඔහුගේ නම අනාවරණය නොකිරීමේ කොන්දේසි මතය.

බොලිවුඩ් කර්මාන්තයේ තරු හා බැඳුණු ආදර කතා, ප්‍රේම සබඳතා බිඳී යෑම්, මතට ඇබ්බැහි වීම්, අයුතු ප්‍රයෝජන ගැනීම් සහ අපරාධ ක්‍රියාවන් පිළිබඳව තොරතුරු ඉකුත් දශක දෙක තිස්සේම ඕපාදූප වෙබ් අඩවි හරහා පිටතට ගලා එන්නට විය.

ශ්‍රී දේවිගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූ අනතුරක් ලෙස දැක්වෙද්දී ප්‍රවීණ බොලිවුඩ් නිළි සිමි ගාරෙවල් (Simi Garewal) ට්විටර් සටහනක සඳහන් කරන ලද්දේ 'ශ්‍රී දේවිගේ සහ විට්නි හුස්ටන්ගේ මරණයන් අතර ඇති අද්භූත සමානාත්මතාව' යන වැකියයි.

විට්නි හුස්ටන් (Whitney Hooston) ඇය සිටි හෝටල කාමරය තුළ දියේ ගිලීමෙන් සිදුවූ අනතුරකින් මියගොස් සිටියේ ඇය භාවිත කළ කොකේන් හෘද රෝගයකට බලපෑ නිසාවෙන් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේ නිගමනය විය.

විරහ වේදනා හෝ මානසික අවපීඩනය (Depression) අතරතුර සිනමා කර්මාන්තයේ අවශ්‍යතා ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් අවම වශයෙන් බොලිවුඩ් නිළියන් 16ක් සහ නළුවන් 9 දෙනකු ඔවුන්ගේ දිවි තොර කරගෙන ඇති බව හද කම්පා කරන සත්‍යයකි.

බොලිවුඩ් සිනමාව බල කරන්නේ ආදායම් වාර්තා තබන ජයග්‍රහණයන්ටය. එය පෙනුමෙන් ආකර්ෂණීය විය යුතු බවට සිනමා තරු මත බලවත් පීඩනයක් ඇති කරන අතරම සමාජ ජාලා වෙබ් අඩවිවල නිරීක්‍ෂණයන්ටද ඉහළ මට්ටමේ තරු පවා බඳුන් වන වටපිටාවක් ගොඩනඟයි.

මෙම පසුබිම තුළ තමා මානසික අවපීඩනයෙන් පෙළෙන බව සාර්ථක ඉන්දීය සිනමා තාරකාවක වන දීපිකා පදුකෝන් (Deepika Padukone) ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.

බොලිවුඩ් තරු ඔවුන්ගේ සැබෑ ජීවිතවලදී කොතරම් අසතුටෙන් පසුවන්නේද යන්න පෙන්වාදීම සඳහා සිනමාකරුවකු වන රාම් ගෝපාල් වර්මා (Ram Gopal Varma) සමාජ ජාල මාධ්‍ය හරහා උත්සාහයක් දරා තිබිණි. ඔහු ශ්‍රී දේවි රඟපෑ ආදායම් වාර්තා තැබූ තෙළිඟු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයාද වෙයි.
'ශ්‍රී දේවිට ඇයගේ ජීවිතය බොහෝ

දුෂ්කරතාවන් මැදින් ගෙන යන්න වුණා. ඇයට ළමා නිළියක ලෙස ජීවිතයේ මුලදීම සිනමාවට පැමිණීමට සිදුවීම නිසා සාමාන්‍ය කෙනකු ලෙස හැදී වැඩීමට ඇයට ජීවිත කාලය තුළම ඉඩක් ලැබුණේ නෑ'.
බාහිර තත්ත්වයට වඩා ඇයගේ මානසික තත්ත්වයබොහෝ ඉහළ මට්ටමක තිබූ නිසා ඇයගේම ජීවිතය දෙස බැලීමට ඇය තුළ ඇයටම බල කිරීමක් තිබුණා. ඉන්දීය මාධ්‍යවේදී වීර් සන්ග්විට (Vir Sanghvi) පවසා තිබේ.

දකුණු ඉන්දියාවෙන් සිනමා දිවිය ඇරැඹී ඇයට එහිදී රඟපෑම් සඳහා උදෑසන 6ට පැමිණ සිටීමට සිදුවී ඇත. එහෙත් බොලිවුඩ්හිදී බොලිවුඩ් නළුවන් රූගත කිරීම් සිදුවන ස්ථානය වෙත පැමිණෙන තෙක් දහවල් වනතුරු බලා සිටීමට සිදුවී ඇත. එයින් ඇයව මහත් පීඩාවට පත්වූ බව ශ්‍රී දේවි කියා ඇත. එසේම බොලිවුඩ්හි
පළමු චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු ඇයට බියකරු සිහිනයක් වූ බවද එය බොලිවුඩ් පැපරාසින් නිසා ඉතා දැඩි ලෙස විඳ දරා ගැනීමට නොහැකි වූවක් බවට පත්වූ බවද ඇය හෙළි කොට ඇත.
බොලිවුඩ් මාධ්‍ය ශ්‍රී දේවිව හඳුන්වා ඇත්තේ ගිගුරුම් දෙන කලවා යන අරුත් දෙන Thunder Thighs යන නමිනි. ඉන්දීයභාෂා 5ක් චතුර ලෙස කතා කළ හැකිවූ ඇයට ඉංග්‍රීසි භාෂාවේ ශක්‍යතාව මඳ වීම සම්බන්ධයෙන් සිනමා සඟරාවල උසුළු විසුළුවලට ලක් කර තිබේ.

සිනමා තාරකාවන් තරුණ පෙනුමෙන් සිටිය යුතු බවට ඇති පීඩනය හේතුවෙන් නැවත නැවත සිදුකරන ලද රූපලාවණ්‍ය සැත්කම් (Cosmetic Surgeries) ඇයගේ මරණයට බලපෑ බවටද අනුමාන කෙරේ.

ඇය මෙයාකාරයෙන් සැත්කම් කළාද යන ප්‍රශ්නය නිරන්තරයෙන් ඇයගෙන් අසන ලද අතර ඇය ඒවා ප්‍රතික්‍ෂේප කරනු ලැබුවාය. කෙසේ නමුත් රූපලාවණ්‍ය සැත්කම් බොලිවුඩ් නිළියන් අතර බොහෝ ප්‍රචලිතය. මහා පරිමාණ චිත්‍රාගාර අතර සිදුවන නීත්‍යනුකූල නොවන වෛවාහක බල හුවමාරු අතර බොලිවුඩය පසුගිය දශක දෙක තුළ මිත්‍රශීලී නොවන තැනක් බවට පත්ව ඇති බව බොහෝ තරුණ නිළියන් ප්‍රකාශ කර තිබේ.

කුඩා නගරයකින් මහත් බලාපොරොත්තු සහිතව පැමිණි තමා වැන්නන්ට බොලිවුඩය මිත්‍රශීලී නොවූ ආකාරය මෙන්ම අයුතු ප්‍රයෝජන ගත් ආකාරය දෙවරක්ම ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ සුපිරි බොලිවුඩ් තාරකාවක් වන කන්ගානා රනෝට් (Kangana Ranaut) හෙළිකර ඇත. ඇයට සැලකුවේ බල්ලකුට මෙන් යැයි කන්ගානා පවසා තිබේ.

කෙසේ නමුත් අද වනවිට බොලිවුඩ් චිත්‍රාගාර විධායකයන් සහ සිනමාකරුවන් වෙනස්ය. සාර්ථක, ධනවත් පැරැණි නළු නිළියන් හා
නිෂ්පාදකයන්ගේ දරුවන් විසින් එය මෙහෙයවයි. අද සිටින යොවුන් නළු නිළියන්ද විදේශ අධ්‍යාපනය ලැබූවන්ය. එසේ හෙයින් පිටස්තරින් පැමිණෙන බලගතු පවුල්වලට අයත් නොවන අය බොලිවුඩයේදී සූරාකෑමට හා අයුතු ප්‍රයෝජන ගැනීමට නිරාවරණය වන බව කන්ගානා කියන්නීය.

කෙසේ නමුත් සියලු කරදර බාධක මැද බොලිවුඩයේදී සාර්ථකත්වය ලැබූ පිටස්තරයන් අතර ෂාරුක් ඛාන්, අනුෂ්කා ෂර්මා, රන්වීර් සිං, දීපිකා පදුකෝන් වැනි චරිත සිටිති.

රූ කාරියවසම්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon