රුසියාව ඔත්තුකරුට වස දීමේ චෝදනා බැහැර කරයි

  👤  1946 readers have read this article !
Published by : MB WEB 2018-03-08 13:01:32

රුසියාවේ හිටපු ඔත්තුකරුවකු වන සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ දියණිය යුලියා (Yulia) ඉලක්ක කරගත් විෂ ශරීරගත කරවීමකට 'ක්‍රෙම්ලිනය' සම්බන්ධ බවක් පෙනී ගියොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වන බව බ්‍රිතාන්‍ය විදේශ ඇමති බොරිස් ජොන්සන් පවසයි.

'සැලිස්බරි' නගරයේ ජීවත් වූ රුසියාවේ හිටපු රහස් ඔත්තුකරු සහ ඔහුගේ දියණිය හිටිඅඩියේම විෂක් ශරීරගත වීමෙන් දැඩිලෙස රෝගාතුරව රෝහල් ගත කරනු ලැබ අසාධ්‍ය තත්වයේ පසුවෙති.

එම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇති අතර, ස්වදේශ ලේකම් ඇම්බර් රූඩ් ගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඉහළම හදිසි කමිටුව අද බදාදා (මාර්තු 07) රැස්වීමට නියමිතව ඇත.

සිය පැරණි ඔත්තුකරු සහ ඔහුගේ දියණිය රෝගාතුර වීම සම්බන්ධයෙන් ඇතැම් කණ්ඩායම් තමන් වෙත ඇඟිල්ල දිගු කරනු ලැබීම මොස්කව් පාලනය විසින් බැහැර කරනු ලබයි.

මේ අතර නිවේදනයක් කරන බ්‍රිතාන්‍ය පොලිසිය පසුගිය ඉරිදා සවස සැලිස්බරි නගරයේ ගතකළ ඕනෑම තැනැත්තකු සමඟ කතා කිරීමට අවශ්‍ය බව කියා සිටියි.

සැලිස්බරි නගර මධ්‍යයේ පිහිටි 'බිෂොප් මිල්' අවන්හලට සහ 'ශිෂි' (Zizzi) භෝජන ශාලාවට පැමිණි පාරිභෝගිකයන් සමඟ සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය පොලිසිය කැමැත්ත පළ කරයි.

හැටහය හැවිරිදි සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ තිස්තුන් හැවිරිදි දියණිය යුලියා (Yulia) ඉරිදා සන්ධ්‍යාවේ සොයාගනු ලැබුණේ සැලිස්බරි නගරයේ 'මැල්ටින්ග්ස්' (Maltings) සාප්පු සංකීර්ණය ඉදිරිපිට බංකුවක් මත සිහිසුන්ව වැටී සිටියදීය.

යම්කිසි විසක් ඔවුන්ගේ ශරීරගතව ඇද්ද යන්න පිළිබඳව 'පෝර්ටන් ඩවුන්' (Porton Down) බ්‍රිතාන්‍ය යුද හමුදා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් විසින් පිරික්සමින් ඇති බවත් වාර්තා කරනු ලැබ ඇත.

"රෝගාතුරව සිටි සෙර්ගේයි ස්ක්‍රිපාල් (Sergei Skripal) සහ ඔහුගේ දියණිය යුලියා (Yulia) ඉරිදා සවස 1.30 ට විතර සැලිස්බරි නගරයේ දී හමු වුනා. එදා දිනයේ යම්කිසි අසාමාන්‍ය දෙයක් කවුරුහරි දැක්කානම්, එවැනි දෙයක් මතකයේ තිබෙනවානම්, ඒක ඉතාම වැදගත් වෙන්න පුළුවන්" ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳ බ්‍රිතාන්‍ය පොලිසියේ සහකාර කොමසාරිස්වරයා පවසයි.

"පෝර්ටන් ඩවුන් (Porton Down) බ්‍රිතාන්‍ය යුද හමුදා පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් රහස් ඔත්තුකරු සහ ඔහුගේ දියණියගේ ශරීරගත රසායනයක් තවමත් හඳුනා ගෙන නැහැ. හේතුවට වඩා රෝග ලක්ෂණ වලටයි ඔවුන් ප්‍රතිකාර කරමින් සිටින්නේ" බීබීසී "නිව්ස් නයිට්" රාජ්‍යතාන්ත්‍රික තොරතුරු සංස්කාරක මාර්ක් අර්බන් සඳහන් කළේය.

"පරීක්ෂණ ප්‍රතිඵල එන්න දවස් කීපයක් ගත වෙන්න පුළුවන්" ලීඩ්ස් සරසවියේ මහාචාර්ය ඇලස්ටෙයාර් හේ (Prof Alastair Hay) පවසයි.

ඇස් කසන්නට ගැනීම සහ හුස්ම ගැනීම දුෂ්කර වීම වැනි අපහසු තත්වයන්ට පත් පොලිස් නිලධාරීන් දෙදෙනකුත් විෂ ශරීරගත වීමට ගොදුරුව ඇතැයි සැක කෙරුණ අතර ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබ පිටව ගොස් ඇති බවක් ද වාර්තා වෙයි.

මේ අතර හදිසි සේවාවේ සාමාජිකයකුත් රෝහල්ගත කරනු ලැබ ඇත.

කව්ද මේ ස්ක්‍රිපාල්?

කර්නල් ස්ක්‍රිපාල් රුසියාවේ බුද්ධි අංශයේ හිටපු රහස් ඔත්තුකරුවෙකි.

රුසියානු බුද්ධි අංශයේ කටයුතු කරමින් සිටියදීම බ්‍රිතාන්‍යයටත් ඔත්තු සැපයීම සම්බන්ධයෙන් 2006 වසරේ ඔහු වරදකරු කරනු ලැබුණි.

කර්නල් ස්ක්‍රිපාල්ගේ බිරිඳ,වැඩිමහල් සහෝදරයා සහ පුත්‍රයා පසුගිය කාලයේ මරණයට පත්වූ අතර එම මරණ පිටුපස ද රහසක් ඇතැයි පවුලේ සෙසු සාමාජිකයෝ සැක කරති.

කර්නල් ස්ක්‍රිපාල්ගේ පුත් හතළිස් තුන් වියැති අලෙක්සන්දර් ස්ක්‍රිපාල් ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී අක්මා රෝගයකින් මරණයට පත්විය.

එම මරණය පිළිබඳවත් පවුලේ ඥාතීන් අතර පවතින්නේ සැකයකි.

කර්නල් ස්ක්‍රිපාල්ගේ බිරිඳ, ලුද්මිලා 2012 වසරේ පිළිකා රෝගයට ගොදුරුව මරණයට පත්වූවාය.

(BBC)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon