නිදහස් කුසලානයට එන්න සිටි මැතිව්ස්ගේ අදහස ඉවතට

  👤  2210 readers have read this article !
Published by : MB WEB 2018-02-28 10:47:07

බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී යළිත් ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි-20 ක්‍රිකට් නායක ඇන්ජිලෝ මැතිව්ස්ට ලබන මාර්තු 6 වැනිදා සිට 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියද අහිමි වී ගොස් ඇත.

පසුගිය ජනවාරි මාසයේදී බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදීම කළවයේ ආබාධයකට ලක්වූ මැතිව්ස්ට මාසයක කාලයක් විවේකීව සිටීමට වෛද්‍යවරුන් නියම කර තිබිණි.

එහෙත් එම ආබාධය (කළවයේ) සුව වූ මැතිව්ස් පසුගියදා සිදුකළ පුහුණුවීම් අතරතුරදී යළිත් පාදයේ ආබාධයට (බත්කෙණ්ඩ ප්‍රදේශයේ) ලක්වීම හේතුවෙන් නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙසේ අහිමි වී ඇත.

කෙසේ වෙතත් පසුගිය බංග්ලාදේශ තරගාවලියේදී ආබාධයට ලක්වූ කුසල් ජනිත් පෙරේරා, දුෂ්මන්ත චමීර හා නුවන් ප්‍රදීප් සම්පූර්ණයෙන්ම සුව වී මේ වනවිටත් තරගවලට සහභාගි වන අතර, බංග්ලාදේශ තරගාවලියේදී නායකත්වය හෙබවූ දිනේෂ් චන්දිමාල්ට නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබේ.

මේ අතර නිදහස් කුසලානය වෙනුවෙන් 20 දෙනකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ඊයේ (27දා) ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව එම සංචිතය සඳහා බංග්ලාදේශය සමඟින් පැවැති විස්සයි-20 සංචිතයට ඇතුළත් නොවූ සුරංග ලක්මාල්, සධීර සමරවික්‍රම, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර හා ධනංජය ද සිල්වා ඇතුළත්වීමද කැපී පෙනේ. කෙසේ වුවත් මෙහි අවසන් 15 දෙනාගේ සංචිතය අද (28දා) තෝරාගැනීමට නියමිතව ඇති බවද පැවැසේ.

නම් කර ඇති සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, අමිල අපොන්සු, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon