වසර අටක් සැඟවුවත් මනුරංගගේ නිහඬ නොවූ ආදරය

  👤  3849 readers have read this article !
Published by : MB WEB 2018-02-26 14:21:52

'මනු'ට වැඩ ජයයි වගේ?

මට ඉතිං වැඩ කොහොමත් ජයයි. මම ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන් ටෙස්ට් මැච් එකේ ඉන්න කෙනෙක් නිසා හිමින් හිමින් ඉනිම ගොඩ නඟාගෙන යනවා.

මනු ලියපු ගීත කිහිපයක්ම මේ දවස්වල කරළියේ තියෙනවා?

මගේ අන්තිමට රිලීස් වුණු ගීතය තමයි චයිනා ටවුන් ගීතය. ඒ ගීතයට විවිධ ප්‍රතිචාර ලැබුණා. අලුතින්ම රිලීස් වුණු ගීතය තමයි නිහඬ වූයේ. ඒක ගායනා කරන්නේ ටෙහාන් පෙරේරා. මේක මම අවුරුදු අටකට කලින් කරපු සින්දුවක්. මේ ගීතයේ තනු නිර්මාණය කළේ ගයාන් පෙරේරා. අවුරුදු අටකට කලින් කරලා හැංගිලා තිබ්බ ගීතය තමයි දැන් එළියට ඇවිත් තියෙන්නේ.

'නිහඬ වූයේ' අවුරුදු අටක්ම හංගලා තිබ්බේ?'

මටත් ඇත්තටම හිතාගන්න බෑ මේ ගීතය ඇයි ඊට කලින් එළියට ආවේ නැත්තේ කියලා. එහෙම ගීත තියෙනවා. අපි කරපු සමහර ගීත අපි හරියට රස විඳිනවා. හැබැයි ඒවා එළියට ගේන්න අමතක වෙනවා. කොහොම වුණත් ටෙහාන් මේක හොයලා එළියට අරගෙන වීඩියෝවකුත් කළා. දිනක්ෂි තමයි මෙහි රංගනයට සම්බන්ධ වෙන්නේ.

ඔබ දෙයක් කළොත් හොඳ වගේම විවේචනත් අහන්න වෙනවා. මේ ගීතය විවේචනවලින් බේරෙයි වගේ?

මම ගොඩක් වෙලාවට මට හිතෙන සෘජු නිර්මාණ කරනවා. මගේ ආදර ගීතවලට විවේචන අඩුයි. මේ ගීතයත් ආදර ගීතයක් නිසා විවේචන නැති වෙයි. රම්බරි ආකෘතියේ ගීතවලට තමයි ඔය විවේචන එල්ල වෙන්නේ.

චයිනා ටවුන් ගීතයටත් විවේචන එල්ල වුණා?

ඔව්. ඒක අයිති වෙන්නෙත් රම්බරි ගීත ආකෘතියේ ගොඩට. ඒවා මම කරන හිතුවක්කාර නිර්මාණ. ගොඩක් අයට තේරුම් ගන්න බැරිවුණා චයිනා ටවුන් ගීතය ඇතුළේ තියෙන කතාව. ඒ නිසා මේ සැරේ මම කවදාවත් කරන්නේ නැති වැඩක් කළා. ගීතයේ තේරුම ෆේස්බුක් එකෙන් ෂෙයාර් කළා. ඊට පස්සේ තමයි ගොඩක් අයට තේරුණේ චයිනා ටවුන් ජොලියටම කළ වැඩක් නෙවෙයි කියලා. ඔය අතරේ වීඩියෝව සහ සමස්ත ගීතයත් ගොඩක් අය අගය කරලා තිබුණා.

ඇත්තටම 'මනු'ට ඇයි මෙච්චර විවේචන එල්ල වෙන්නේ?

ලංකාවේ අලුත් දෙයක් කරන්න අමාරුයි. අලුත් දෙයක් කරද්දි බැනුම් අහන්න වෙනවා. 'රම්බරි' ගීතය ආවම වුණත් ගොඩක් අය ඒ ගීතයට බැන්නා. විවේචනය කළා. ඒ නිසා බැනුම් විවේචන මට පුරුදුයි. රම්බරිවලින් ආරම්භ කරපු අපිට විවේචන ගැන මොන කතාද?
මනුගේ ගීතවල තියෙන්නේ වචන හරඹයක් විතරයි.

තේරුමක් නෑ කියලා තමයි ඔබේ ගීතවලට බොහෝ අය විවේචන කරන්නේ?

සින්දු ලියද්දී වචන හරඹයක් තමයි තියෙන්නේ. මම ලියන දේවල්වල තේරුම ගැන නෙවෙයි ගොඩක් අයට ගැටලු තියෙන්නේ. මම කරන සමහර නිර්මාණ ගොඩක් වෙලාවට ගෝචර වෙන්නේ කල් ගිහින්. මම කවදාවත් පවතින රැල්ලත් එක්ක ගිය කෙනෙක් නෙවෙයි. රැලි හදනවා මිසක් රැලිවලට පාවෙන කෙනෙක් නෙවෙයි මම.

ඒ කියන්නේ 'මනු' රැලි හදපු කාර්යයේ පෙරමුණේ ඉන්නවා කියන එකද?

කවුරු වුණත් කළ යුත්තේ රැලි හදන එක මිසක් රැලිවල පාවෙන එක නෙවෙයි. මම හදන නිර්මාණ ගොඩක් වෙලාවට ආකෘතියෙන් බැහැරයි. ගීතයක වචන සරල වෙලා ඒකෙන් අමුතු දෙයක් කතා කළ ගමන් ගොඩක් අය හිතනවා ඒක තේරුමක් නැති දෙයක් කියලා. ඒක තමයි තියෙන ගැටලුව.

මනු හදන හැම සින්දුවකම තේරුමක් තියෙනවද?

ඔව්. දෙයක් ලියද්දි ඒ තුළ මම ඉන්නවා. මම අත්දැකපු දෙයක් තමයි මගේ නිර්මාණ හරහා එන්නේ. ඒක මම විඳිනවා. මගේ ගීත විඳින ගමන් තමයි සමහරු විවේචන කරන්නේ. හොඳම උදාහරණය තමයි රම්බරි සින්දුවට රෑට නටලා උදේට ගිහින් ඒක විවේචනය කරලා ලියනවා.

මනු එක්ක වැඩ කරන්නේ එක පිරිසක් කියලත් චෝදනා තියෙනවා. ඇත්තටම ඔබ එක පිරිසකට සීමා වෙලාද?

නැහැ. මම මට පහසුම අය එක්ක වැඩ කරනවා. මාව අත්‍යවශ්‍ය මිනිස්සුන් එක්ක වැඩ කරනවා.

ප්‍රවීණයන් ඔබව ඉල්ලා සිටින්නේ නෑනේ?

අයියෝ නෑ... තාම මම ඒ තැනට ඇවිත් නැහැ. මම තාම එච්චර දියුණු නැහැ. ප්‍රවීණයන් ගාවට මම යනවා මිසක් එයාලා ඇවිත් මාව ඉල්ලයි කියලා හිතෙන්නේ නැහැ.

යුරේනිත් දැන් මනුගේ ගීත ගායනා කරලා ගායිකාවක් වෙලා. මනුගෙයි යුරේනිගෙයි මේ එකතුවීම මොකක්ද?

යුරේනි කියන්නේ මගේ මිතුරියක්. ඇය අපිත් එක්ක සුහදව වැඩ කරන කෙනෙක්. ඒ නිසා මම යුරේනිට සින්දු ටිකක් කරලා දුන්නා. සාරිපොටේ, චුයිංගම් වගේ කොල්ලෝ ගීතවලටත් විවිධ ප්‍රතිචාර ලැබුණා. යුරේනිත් කලාවට කැමැති කෙනෙක්. එන්ටර්ටේනර් කෙනෙක් වෙන්න කැමැති කෙනෙක් නිසා එයාගේ විදියට ගීත කිහිපයක් කළා. ළහිරු, මම, ඩැඩී කණ්ඩායමේ පිරිස එක්ක යුරේනි සමීපයි. යුරේනිත් ලේසි අයට කියලා වැඩේ කරගන්නවා. මම ඉතිං එයාව හඳුනගෙන ගීත කරනවා. දක්ෂ ගීත පද රචකයෙක් ඒ අදාළ ගායකයාගේ ගායිකාවගේ ආවේණික ලක්ෂණ හඳුනාගෙන ගීත කරන්නේ.

නොකියා කියන්නේ ලංකාවේ ගී පද රචකයන්අ තර මනු දක්ෂ ගී පද රචකයෙක් කියලද?

අනේ නැහැ... මාව රසවිඳින අය ඉන්නවා මාර විදියට. ඒ වගේම මම රසවිඳින ගීපද රචකයොත් සෑහෙන්න ඉන්නවා. ඒ නිසා මට වඩා දක්ෂ අය මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.

ගී පද රචකයා නිවේදන භූමිකාවකත්වැ ඩ පෙන්වනවා?

ඔව්. නිවේදන වෘත්තිය තමයි මම ආස කරපු දේ. ඒ ආස කරපු දේ මට දැන් කරන්න ලැබිලා තියෙනවා. සෑහෙන කාලයක් ගත වුණා නිවේදකයෙක් වෙන්න. ගී පද රචකයෙක් වුණාට පස්සේ තමයි මට නිවේදකයෙක් වෙන්න පුළුවන් වුණේ. ඉතිං මේ දවස්වල සිරස ෆිල්ම් ස්ටාර් වැඩසටහන ප්‍රසන්ට් කරනවා.

දැන් මනු පෙම්වතෙක්. හිත දිනාගත්ත පෙම්වතිය ගැන කියමුද?

ඔව්. එයාගේ නම දිල්සරා. එයා චිත්‍ර ශිල්පිනියක්. මෝස්තර නිර්මාණ ශිල්පිනියක්. ඒ වගේම ව්‍යාපාරිකාවක්. වැඩිදුර තොරතුරු අනාගතයේදී කියන්න පුළුවන්.

ජීවිතයේ ඒ තෝර ගත්ත විශේෂම කෙනා දැන්ම සහකාරිය කරගන්න අදහසක් නැද්ද?

ඉක්මනින්ම එකලාසයක් වෙනවා. හැම දෙයක්ම විය යුතු වෙලාවක් තියෙනවා. ඒ දේත් වෙලාවට සිද්ධ වෙයි.

මොනවද ඉදිරි වැඩ?

මම නිවාඩු නිකේතනයක් පටන් ගන්නවා හපුතලේ. උසස් අධ්‍යාපන කටයුතු කළේ Hotel Management ක්‍ෂේත්‍රයෙන්. ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නත් හිතාගෙන මේ වැඩ කටයුත්තත් පටන්ගත්තා. සනුක එක්කත් වැඩක් කරගෙන යනවා. ශනුද්‍රි ප්‍රියසාද්ටත් ලියපු ගීතයක් එනවා. ගීත නම් බොහොමයක් තියෙනවා එළියට එන්න. ඊට අමතරව මට ආසයි වේදිකා නාට්‍යයක් හදන්න. චිත්‍රපටයක් නිර්මාණය කරන්න. රූපවාහිනි වැඩසටහන් කිහිපයක් කරන අදහසකුත් තියෙනවා. ඒ දේවල් ඒ ඒ විදියට සිද්ධ වෙයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon