රට වටේ යන්න භානුකය හිරන්‍යාය ගමට ඇවිත්

  👤  2705 readers have read this article !
Published by : MB WEB 2018-02-22 16:34:58

කාලයකට පස්සේ පවුලම ලංකාවට ඇවිත්?

ඔව්. මම වැඩ කරන ආයතනයේ සහාය කාර්යාලය තියෙන්නේ කොල්ලුපිටියේ. මාව ඕස්ට්‍රේලියාවෙන් අවුරුදු දෙකකට වතාවක් ලංකාවට එවනවා පිරිසක් පුහුණු කරන්න. 2016 ආවට පස්සේ අවුරුදු දෙකකින් තමයි මේ සැරේ මම ලංකාවට ආවේ. මේ අවුරුද්දේ මම ලංකාවට එද්දි මාස දෙකක නිවාඩුවක් අරගෙන ආවා. බිරියයි දුවලා තුන්දෙනයි එක්ක තමයි මේ සැරේ ලංකාවට ආවේ.

දුවලා ලංකාවට ආවේ පළමුවැනි වතාවට නේද?

එයාලා ඉපදුණේ ඕස්ට්‍රේලියාවේ. දුවලා තුන්දෙනාම ලංකාවට ගෙනාවේ පළමුවැනි වතාවට. මගේ බිරිය හිරණ්‍යා ලංකාවට ආවෙත් අවුරුදු නවයකට පස්සේ.
ලංකාවට ඇවිත් රට වටේ ගියා කියලා ආරංචියි.

ඔව්. දුවලා තුන්දෙනා ලංකාවට ආවේ පළමුවැනි වතාවට නිසා එයාලත් එක්ක රට වටේ යන්න හිතාගෙනමයි ආවේ. පොළොන්නරුව, ත්‍රිකුණාමලය, නුවරඑළිය වගේ අපි යන්න හිතාගෙන ආපු හැම තැනම ගියා. දුවලා තුන්දෙනත් හරි ආසාවෙන් ඒ අත්දැකීම වින්දේ.

ඔය ගමනට තාත්තාව අල්ල ගන්න පුළුවන් වුණාද?

අපි ලංකාවට එන්න ටිකට් බුක් කළේ මැයි මාසේ. අපි කලින්ම තාත්තාට කිව්වා. මේ මාස දෙක සම්පූර්ණයෙන් වැඩ අයින් කරලා තාත්තා අපිත් එක්ක හිටියා. මොකද පවුලේ ඔක්කොටම එකට එකතු වෙන්න ලැබෙන්නේ මේ වගේ අවස්ථාවකනේ. මේ මාස දෙක ලංකාව තුළ ආදරෙන් ගත කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි.
භානුක දැන් රඟනොපෑවට කාලයකට කලින් හොඳ නළුවෙක්. ඒ පටන් ගැන්ම මතක් කරමු.
ටෙලි නාට්‍ය විස්සක් විතර කළා. පළමුවැනියටම මම රඟපාන්නේ 1987 අන්තිම කාලේ වගේ. ඒ සෝමරත්න දිසානායකගේ පුංචි පැටව් නිර්මාණයේ. ඉස්කෝලේ නිවාඩු දීලා ගෙදර ඉද්දි තමයි මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න එක්ක ගියේ. සුබ අනාගතයක්, මඩොල් දූව, ලෝ නම් ලෝ, තුන්පත් රටාවක ලස්සන, වීදුරු මල් වගේ නිර්මාණ බොහෝමයකට මම සම්බන්ධ වුණා.

පළමුවැනි නාට්‍ය තුළම භානුකගෙයි හිරණ්‍යාගෙයි හැංගිච්ච කතාවක් තියෙනවා නේද?

මම පුංචි පැටව් නාට්‍යයේ චරිතයක් නිරූපණය කරද්දි හිරණ්‍යා 'අපි යාළුයි අපි යාළුයි" ගීතය ප්‍රථම වතාවට ටෙලි නාට්‍යයකට ගායනා කළා. එතකොට අපි දෙන්නට අවුරුදු හතක් විතර ඇති. එඩ්වඩ් මහත්මයයි චරිතා මහත්මියයි එක්ක තමයි අපි ගීතය ගායනා කළේ.

ලංකාවේ ඉද්දි භානුක නිර්මාණ බොහෝමයකට රංගනයෙන් දායක වුණා. දැන් රංගන කටයුතුවලට සම්බන්ධ නොවීම ඔබේ ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද?

දැන් රංගන කටයුතු කරගෙන යන්න ඕන තරම් අය ඉන්නවා. ටෝනි රණසිංහ, සිරිල් වික්‍රම වගේ ජේ‍යෂ්ඨ නළුවෝ වගේම රොෂාන් රණවක, සුරාජ් මාපා වගේ තරුණ ශිල්පීන් දක්වා බොහෝ දෙනෙක් එක්ක මට රඟපාන්න ලැබුණා. ඒ අපි පුංචි වයසින්ම රංගන කටයුතු පටන් ගත්ත නිසා. මම කලාව ඉගෙන ගත්තේ නැහැ. එහෙම ඉගෙන නොගෙන ඒකට බැහැලා කිච වෙන්න ඕනේ නැහැනේ.

එතකොට රංගන කටයුතුවලට සම්බන්ධ වුණේ කැමැත්තකින් නෙවෙයිද?

මම ආසාවට රඟපෑවේ. හැබැයි වෘත්තීය මට්ටමෙන් රඟපාද්දි ඒ ගැන අවබෝධයකින් කරන්න ඕන.

රංගනය වෘත්තිය කරගත්තේ නැත්තේ?

මගේ ආසාව තිබ්බේ ඉලක්කම් සම්බන්ධ දේවල්වලට. මගේ අම්මා ගණිත ගුරුවරියක්. මම උසස් පෙළ කළෙත් ගණිත විෂයෙන්. උපාධිය කළෙත් එහෙමයි. දැන් රැකියාව කරන්නේ ගණකාධිකාරිවරයෙක් විදියට. මම නොම්බර එක්ක පොරබදන්න හරි ආසයි. ඒ නිසා ඉගෙන ගත්ත දෙයින් රස්සාව කරගෙන ඉන්නවා.

රංගන කටයුතු අතහරින්න එපා කියලා තාත්තා බල කළේ නැද්ද?

නැහැ. තාත්තා මට කවදාවත් බලපෑමක් කළේ නැහැ. හැබැයි තාත්තා ඕන වෙලාවක අපිට උදවු කරන්න ඉන්නවා. කරන්න ඕනේ මොකක්ද කියලා තාත්තා බල කරලා නැහැ.

භානුක රඟනොපෑවට ඕස්ට්‍රේලියාවේ ඉද්දි කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවානේ?

මට ඕස්ට්‍රේලියාවේ තියෙනවා ප්‍රසංග කළමනාකරණ ආයතනයක්. මෙල්බර්න්වල ගොඩක් ඡ්මඥදබඵ තියෙනවා. ලංකාවේ අය බොහෝ දෙනෙක් මෙල්බර්න්වල ඉන්නවා. හැම සති අන්තයකම අවම වශයෙන් ප්‍රසංග තුනක්වත් තියෙනවා. ඒ ප්‍රසංග කළමනාකරණ කටයුතු බොහෝ දුරට වෙන්නේ මගේ යටතේ.

රංගන කටයුතුවලට ආයෙත් සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

ඕස්ට්‍රේලියාවට ගිහින් පළමුවැනි අවුරුදු තුන ඇතුළත රඟපෑම සහ සංගීත කටයුතුවලට ගොඩක් සම්බන්ධ වුණා. රැකිරක්ෂා වෙනස් වීම, දරුවෝ ලැබීම කියන කාරණාත් එක්ක වැඩකටයුතු හිර වුණා. දැන් නම් ප්‍රාසාංගික මට්ටමෙන් කිසිම දෙයක් මම කරන්නේ නෑ.

හැබැයි තාමත් රංගනයට ආරාධනා ලැබෙනවානේ?

ආරාධනා නම් ලැබෙනවා. ළඟදිත් මට කතා කළා. එහෙ තිබෙන තත්ත්වය අනුව අපිව ඒ වැඩේට හරියන්නේ නෑ. මොකද රැකියා කටයුතුත් වෙලාවට කරගෙන රංගන කටයුතුවලටත් සම්බන්ධ වෙන්න පොඩි අපහසුවක් තියෙනවා. ඒ නිසා බොහෝ කලා කටයුතු මඟහැරෙනවා.

ලංකාවේ නවතින්නට අදහසක් නැද්ද?

දැන් නම් එහෙම අදහසක් නැහැ. මොකද අවුරුදු එකොළහක් විතර අපි හිටියේ විදේශගතවනේ.

විදේශගත වෙලා හිටියට පවුලේ අයත් එක්ක ලොකු බැඳියාවක් තියෙනවා නේද?

ඔව්. තාත්තා බොහෝ වෙලාවට අවුරුද්දකට සැරයක් ඕස්ට්‍රේලියාවේ එනවා. හිරණ්‍යාගේ අම්මයි තාත්තයිත් නිතරම එනවා. ඒ නිසා දුරස් වීමක් අපිට දැනෙන්නේ නැහැ. දුරින් හිටියත් විවිධ සන්නිවේදන ක්‍රම එක්ක අපි ගොඩක් සමීපයි. එහේ හිටියත් අපි තාත්තාගේ කලා නිර්මාණ බලනවා.

කාලයකට පස්සේ නේද ලංකාවට ආවේ..?

ඔව්. අපි ඕස්ට්‍රේලියාවට ගිහින් වසර එකොළහක් විතර වෙනවා. මම ලංකාවට ආවේ වසර නවයකට පස්සේ. ලංකාව දකින්නත් ලොකු ආසාවක් තිබුණා. අපිට දුවලා තුන්දෙනෙක් ඉන්නවා. එයාලා ඉපදුණෙත් ඕස්ට්‍රේලියාවේ. එයාලටත් රට පෙන්වන්න වුවමනාවක් තිබ්බා. ඒකයි ලංකාවට ආවේ.

හිරන්‍යා කියන්නේ ගායනයත් එක්ක ජීවත් වුණ කෙනෙක්..?

ඔව්. පොඩි කාලේ ඉඳන්ම මම රූපවාහිනිය එක්ක එකතු වෙලා වැඩ කරපු කෙනෙක්. මම මාලනී බුලත්සිංහල යටතේ සංගීතය හැදෑරුවා. ළමා පිටිය, සරස්වතී මණ්ඩපය, හඳ මාමා වැඩසටහන්වල මම ගායනයට සම්බන්ධ වුණා. රඟපෑම් කළා. ලයනල් රන්වල මහත්මයාගේ ළමා ගී වැඩසටහනට මමයි භානුකයි දෙන්නම සම්බන්ධ වුණා. රූපවාහිනිය විශේෂ තැනක් වුණේ නැහැ මටයි භානුකටයි. මාලනී බුලත්සිංහලගේ ළමා කැසට්පටවල ගායනයටත් මම එකතු වුණා.

කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරමින් හිටපු කාලයක ලංකාවෙන් යන්න වීම දුකක් වුණේ නැද්ද..?

මුලින්ම රට අතහැරලා යද්දි පුදුම දුකක් ඇතිවුණා. ඒ කාලේ මට ගොඩක් ආරාධනා ලැබෙමින් තිබුණ කාලයක්. භානුකගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා තමයි අපි විදේශගත වුණේ. ඒ නිසා අපි ලංකාවෙන් යන කැප කිරීම කළා.

භානුකගෙයි ඔබෙයි හමුවීම සිදුවෙන්නේ කලාව නිසා නේද..?

රන්වල බළකාය නිසා අපි දෙන්නා අතරේ පොඩි කාලෙදි මිතුරුකමක් තිබුණා. කලාභූමි සහ කලා ආශ්‍රම කියන ආයතන දෙකෙන්ම එකතුවෙලා භක්ති ගීත ප්‍රසංග මාලාවක් කළා. එහි සංගීතය මෙහෙයුවේ භානුක. මම ගායනයට සම්බන්ධ වුණා. එතකොට අපි සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ. එතැන ඉඳන් තමයි අපි දෙන්නා දුර ගමනක් ඇවිත් තියෙන්නේ.

ලංකාවට ආවට පස්සේ ආයෙත් ඔබව ගායනයෙන් දකින්න ලැබුණා..?

ඔව්. සිහිනයකි රෑ වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ හරහා ගොඩක් අයට ආයෙත් මාව දකින්න වගේම මගේ හඬ අහන්න ලැබුණා.

ඕස්ට්‍රේලියාවේ හිටියට හිරන්‍යා ලංකාවේ සංගීත වැඩ කටයුතුවලට සම්බන්ධ වුණා නේද..?

මම ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නකොටත් විවිධ වූ ටෙලිනාට්‍ය ගීත සඳහා මගේ කටහඬ පටිගත කරලා එව්වා. විකාශය විමට නියමිත සූරිය කුසුම ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නේ මම. මගේ කවිය මට දෙන්න, තුන්පත් රටාවක ලස්සන වගේ ටෙලිනාට්‍ය කිහිපයක ගීත මම ගායනා කළා. මම සංගීත වීඩියෝවකුත් කළා විදේශගතව ඉන්න කොට "තෙස්පියානුවාගේ නරකෙස" කියන වීඩියෝවට 2013 වර්ෂයේදී රාජ්‍ය සම්මාන සහ රාජ්‍ය සංගීත සම්මාන දෙකම ලැබුණා.

ඒ කියන්නේ හිරන්‍යා සංගීත වැඩකටයුතු මඟ හැරගෙන නැහැ..?

සංගීත කටයුතු මඟ නොහැරෙන්න විශේෂම හේතුව තමයි භානුකගේ තාත්තා. එයා ගොඩක් උනන්දු වෙලා ලංකාවෙන් ගීත රචනා කරලා සංගීතය නිර්මාණය කරවලා මට එව්වා හඬ පටිගත කරලා එවන්න කියලා. ඒක නිසා මම සංගීත වැඩකටයුතු එක්ක හිටියා.

ඔබට කලාව මඟ නොහැරෙන්න ජයලත් මනෝරත්නයන්ගෙන් ලොකු සහයක් නේද ලැබිලා තියෙන්නේ..?

ඔව්. ලොකු සහයෝගයක් ලැබෙනවා. අෑත් වෙලා තියෙන ගොඩක් දේවල් අෑත් වෙන්න නොදී අපිට ගැටගහලා දෙන්නේ තාත්තා. මම ලංකාවට එනවා කිව්වම ගොඩක් දේවල් සූදානම් කළේ තාත්තා. මං ගැන ගොඩක් අයට කියලා තිබුණා. අපි පස්සට යන්න හදද්දී තාත්තා තමයි අපිව ඉස්සරහට ගෙනියන්නේ.

ඕස්ට්‍රේලියාවේදී සංගීත කටයුතුවලට සම්බන්ධ වෙන්නේ නැද්ද..?

ඉන්ද්‍රජිත් මිරිහාන සහ අසංග ලියනගේ සංගීතවත් කරන බොහෝ වැඩසටහන්වලට මට ආරාධනා ලැබෙනවා. ලංකාවෙන් බොහෝ ශිල්පීන් සංගීත ප්‍රසංගවලට ඕස්ට්‍රේලියාවට ගියාම ඒ අය එක්ක යුග ගායනයන් කරන්න මට අවස්ථාව ලැබෙනවා.

ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැද්ද..?

ලංකාව තමයි මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන ලස්සනම, හොඳම රට. මොකක් හරි නොලැබීමක් එක්ක ඒ කියන්නේ අපේ අධ්‍යාපන සුදුසුකම් හෝ යම් යම් දේවල් එක්ක අපිට නොලැබුණු දේවල් එක්ක වෙන්න ඇති අපි විදේශගත වුණේ. අපි දැන් ඒ රටට හුරු වුණානේ. අපේ දරුවෝ ඒ රටට හුරු වුණ නිසා නැවත ලංකාවේ පදිංචියටම එන්න අපහසුවක් තියෙනවා. කලාව කියන්නේ අපේ ජීවිතය. ඒ ජීවිතය දැන් බොහෝවිට අපිට අහිමිවෙලා. ඒ පාළුව තනිකම දැනෙනවා. අපේ දරුවෝ කවදාහරි ලංකාවට අනුගත වෙන්න උත්සාහ කළොත් ලංකාවට එන්න කැමැත්තක් තියෙනවා.

ලංකාවෙන් යන්න කලින් ඔබේ රසිකයන්ට යමක් දීලා යන්න බලාපොරොත්තුවක් නැද්ද..?

මගේ සංයුක්ත තැටියක් කරමින් ඉන්නවා. ගීත දාහතරක් කරලා තියෙන්නේ. ඒකේ වැඩකටයුතු අවසන් කළාම එය එළිදක්වන්න ලංකාවට එනවා. ඒ වැඩ කටයුත්ත ඉතා ඉක්මනින් අවසන් කරනවා. සුනිල් එදිරිසිංහ මහත්මයා, අමරසිරි පීරිස් මහත්මයා, බණ්ඩාර අතාවුද මහත්තයා, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය ඒ සංයුක්ත තැටියට යුග ගායනයට එක්වුණා. එය වෙනස් ආරක සංයුක්ත තැටියක්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon