ඔලිම්පික් නිලවරණයට එන බැඩ්මින්ටන් හා හොකී සංගම් දෙකට ඇමැතිගෙන් රෙඩ් කාඩ්

  👤  1919 readers have read this article !
Published by : MB WEB 2018-02-22 10:58:15

හෙට (23දා) පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට සහ ශ්‍රී ලංකා හොකී සංගමයට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ඇති බවට ඔලිම්පික් නිලවරණ කමිටුව විසින් තීරණය කරන ලද නමුත් බැඩ්මින්ටන් සංගමයට හා හොකී සංගමයට එසේ ඡන්ද අයිතියක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ පැවැසීය.

මෙරට සම්මත ක්‍රීඩා නීතියේ සංශෝධිත ක්‍රීඩා රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම නිසා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යටතේ අතුරු පාලක මණ්ඩලයක් මඟින් බැඩ්මින්ටන් හා හොකී සංගම් පාලනය වන බැවින් ඔවුන්ගේ පරිපාලනය තහනමට ලක්ව ඇති සංගම් දෙකේම නියෝජිතයන් හට කිසිදු බලතලයක් හිමි නොවන බවද ඇමැති ජයසේකර මහතා අවධාරණය කළේය.

ඒ අනුව එළැඹෙන නිලවරණයේදී බැඩ්මින්ටන් හා හොකී සංගම් දෙකේම නියෝජිතයන් හට ඡන්දය දීමේ අයිතිය නොමැති බව මේ වන විට තමන් විසින් නිලවරණ කමිටුව වෙත දන්වන ලද බවත්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මේ බව නිලවරණ කමිටුවට දන්වා යැවූ බවත් පැවැසූ අමාත්‍යවරයා "අධිකරණ ක්‍රියාවන්ට යටත්ව තිබීම හේතුවෙන් සහ ඔවුන් මෙරට ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝනය කරන ලද සංගම් නිසා එම සංගම් දෙකේ පරිපාලන තන්ත්‍රය අපි තහනමට ලක් කළා. ඒ නිසා ඔවුන් අදාළ නීතිමය කටයුතුවලින් නි‍ෙදාස් වෙලා නිසි පරිදි විගණන වාර්තා ලබාදීලා නිලවරණයට ගොස් නව නිලධාරි මණ්ඩල පත්කරගත යුතුයි. එතෙක් අපි යටතේ අතුරුපාලක කමිටුවකින් පාලනය කරන්නෙ. ඒ නිසා මෙම සංගම් දෙකම ජාතික ඔලිම්පික් කමිටු ඡන්දයේදී ඡන්දය භාවිතයට සුදුස්සන් නොවෙයි. බැඩ්මින්ටන් සංගමයට ඔවුන්ගේ ලෝක සංගමයෙන් අවසර දුන්නෙ බැඩ්මින්ටන් නිලවරණයක් පැවැත්වීමට සුදුසු කටයුතු සකස් කිරීම වෙනුවෙන් දැනට ඉන්න නියෝජිතයන්ට කටයුතු කිරීමට පමණයි. ඒ අනුව ඔලිම්පික් නිලවරණ කමිටුවට මම දැන්වූවා මේ සංගම් දෙකටම ඡන්ද අයිතිය දීම නීති විරෝධියි කියලා" යනුවෙන් පැවැසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාගෙන් 'මව්බිම' කළ විමසීමකදී ඔහු කියා සිටියේ බැඩ්මින්ටන් හා හොකී සංගම් දෙකම අතුරු පාලක මණ්ඩලයක් මඟින් පාලනය වන බැවින් එහි කිසිදු නියෝජිතයකුට ඡන්ද බලයක් නොමැති බව දන්වා නිලවරණ කමිටුවේ සභාපති ආර්.එම්.බී. රත්නායක මහතා වෙත පසුගිය සිකුරාදා (16දා) ලිඛිත දැනුම්දීමක් කළ බවයි.

මේ අතර ජාතික ඔලිම්පික් කමිටු (එන්.ඕ.සී.) නිලවරණය මෙහෙයවන නිලවරණ කමිටුවේ සභාපති, ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය ආර්.එම්.බී. රත්නායක මහතා ඊයේ සවස 'මව්බිම'ට පැවැසුවේ එන්.ඕ.සී. ව්‍යවස්ථාවට අනුව සියලු කටයුතු තීරණය කළ බවයි. මෙම නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එස්. ලියනගම හා එස්. විරිත්තමුල්ල යන ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරු දෙදෙනා කටයුතු කරති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon