ජනතාව එජාපයට අනතුරු ඇඟෙව්වා

  👤  1745 readers have read this article !
Published by : MB WEB 2018-02-12 12:14:19

"පළාත් පාලන ඡන්දයේදී ජනතාව ලබාදුන් තීරණය හිස නවා පිළිගන්නා බව එක්සත් ජාතික පක්‍ෂය ප්‍රකාශ කරයි. ජනතාව තම පක්‍ෂය වෙත දක්වා ඇත්තේ අනතුරු ඇඟවීමක් බවත්, ඒ පිළිබඳව ගැඹුරින් සිතා බලා පක්‍ෂයේ කාර්යභාරය වඩාත් නිවැරැදිව හා වේගවත්ව ඉටු කරලීමට කැපවෙන බවත්, එ.ජා.පක්‍ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනවාරි 08 වැනි දින මෙරට ජනතාව සමාජ ආර්ථික හා දේශපාලනික වෙනසක් සඳහා අප වෙත වගකීමක් පැවරූ බවත් ඒ වගකීම අගෝස්තු මහ මැතිවරණයේදී යළි තහවුරු කෙරුණු බවත් ඔහු එම නිවේදනයේ දක්වයි. අගෝස්තු මාසයේ ජනතාව විසින් අප වෙත ලබාදුන් ජනවරමට අනුකූලව අප වෙත පැවරී ඇති කාර්යය ජනතාව වෙනුවෙන් අර්ථපූර්ණ ලෙස ක්‍රියාවට නැංවීමට කැපවන බවට යළි සපථ කරන්නෙමු"යි එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

"පසුගිය කාලය තුළ අප සිදුකළ සේවාවන් හා කාර්යයන් බොහෝයි. ඉන් සමහර ජනතාවට ප්‍රදර්ශනය වෙයි. මේ ඡන්දය ඊට කදිම උදාහරණයකි. මහා මුදල් කන්දරාවක් වියදම් කරමින් එකම පක්‍ෂයේ අපේක්‍ෂකයන් අතරද ගැටුම් ඇති කරවූ ක්‍රමයක් වෙනුවට යහපත් මැතිවරණ පරිසරයක් ඇති කිරීමට අපි සමත් වූයෙමු. මැතිවරණය සඳහා රාජ්‍ය දේපළ හා සම්පත් අවභාවිතය සම්පූර්ණයෙන්ම පාහේ නවත්වාලූයෙමු. පසුගිය කාලයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ඇතුළුව අප විසින් සිදුකළ එවැනි යහපත් දේ ගණනාවකි.

අප ඉටු කළ සමහරක් දෑ තවම ප්‍රදර්ශනය නොවෙයි. තව කලෙකින් ඒවායේ ප්‍රතිඵල ජනතාව හමුවේ දිස්වනු ඇත. ඒවායේ ප්‍රතිලාභ ජනතාවට දැනෙනු ඇත.
එසේම සපුරාලීමට නොහැකිවූ හා අසාර්ථක වූ දේ ද වෙයි. රාජපක්‍ෂ රෙජීමයෙන් වර්තමානයට උරුම වූ නිමක් නැති ණය කන්දරාව සහ නිරතුරුවම පැමිණි ස්වාභාවික විපත්ද මේ තත්ත්වයට බලපෑවේය. නමුත් අතපසු වූ ඒ සියල්ල සපුරාලීමට හා සාර්ථක කර ගැනීමට අපි පූර්ණ වෙහෙස හා ශක්තිය දරන්නෙමු"යි එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon