බැඩ්මින්ටන් නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශයට අල්ලස් දෙන බවට නිලුකගෙන් චෝදනාවක්

  👤  921 readers have read this article !
Published by : MB WEB 2018-02-02 14:06:40

අප්‍රේල් මස 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම තෝරාගැනීමට අදාළ තරග සඳහා සහභාගි වන ලෙස නිලුක කරුණාරත්න වෙත යැවූ විද්‍යුත් පණිවුඩයට පිළිතුරු ලෙස නිලුක දන්වා ඇත්තේ වත්මන් බැඩ්මින්ටන් පරිපාලනයේ නියුතු නිලධාරීන් දෙදෙනකු අමාත්‍යාංශයට අල්ලස් දෙන බවට චෝදනා එල්ල වී ඇති බැවින් හා පරිපාලනය සම්බන්ධව පැන නැඟී ඇති දුර්වලතා හේතුවෙන් වත්මන් පරිපාලනය පිළිබඳව තමන්ට පැහැදීමක් නොමැති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලේකම් තනතුරෙහි වැඩ බලන ක්ලැරන්ස් හෝමර් විසින් පසුගිය 26 වැනි දින නිලුක කරුණාරත්නට යවා ඇති විද්‍යුත් පණිවුඩයෙන් දක්වා ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලයීය තේරීම් තරග පෙබරවාරි මස 10 වැනි දින පැවැත්වෙන බැවින් එයට සහභාගි වන ලෙසය.

එයට පිළිතුරු සපයා ඇති නිලුක එහිදී පෙන්වා ඇත්තේ තේරීම් කමිටුව යනු ස්වාධීන එකක් බවත්, තමන්ට මෙවැනි ලිපියක් එවිය යුත්තේ තේරීම් කමිටුවේ නිලධාරීන් බවත්ය. අඩු තරමේ මෙම ලිපියෙහි පිටපතක් තේරීම් කමිටුවටවත් යවා නැතැයි පෙන්වා දෙන නිලුක තමන් ඇතුළු ක්‍රීඩකයන්ට නිදහසේ තේරීම් තරගවලට මුහුණ දීමට අවස්ථාව නොදෙන්නේ මන්දැයි විමසා ඇත.

තවද ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාව නඟා සිටුවීමට තමන් ඇතුළු ක්‍රීඩකයන් අපමණ වෙහෙසුණු බවත්, ඔබලා මෙම ක්‍රීඩාව වෙනුවෙන්වත්, රට වෙනුවෙන්වත් කිසිවක් කර නොමැති බවත්, ඔබලා කටයුතු කර ඇත්තේ ඔබලාගේම සුඛ විහරණය සඳහා බවත් සඳහන් කර ඇති නිලුක සංගමයේ තැන් තැන්වල හා කාමරවල විවිධ අපචාර සිදුවන බවත්, මෙවැනි සිදුවීම් වසර 20 ක සිටම සිදුවී ඇති බවය.

කෙසේ වෙතත් බැඩ්මින්ටන් සංගමයේ වත්මන් පරිපාලනයේ නියුතු දෙදෙනකු අමාත්‍යාංශයේ නිලධාරීන්ට අල්ලස් දෙනු ලබන බවට නිලුක කරුණාරත්න සඳහන් කර ඇති චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් "මව්බිම" කළ විමසීමකදී පැවැසුවේ එවන් චෝදනාවක් ඇත්නම් පළමුවෙන්ම කළ යුත්තේ අමාත්‍යාංශයට පැමිණිල්ලක් කළ යුතු බවයි. තවද මේ සම්බන්ධයෙන් ඔහුට (නිලුකට) එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon