රට කැඬීමට හෝ බෙදීමට තමා කිසිවිටෙකත් සූදානම් නොමැති අතර ඊට කිසිවෙකුට ඉඩ නොතබන බව ද ජනපති අවධාරණය කරයි.

  👤  1537 readers have read this article !
Published by : MB WEB 2018-02-01 16:43:48

රට කැඬීමට සහ බෙදීමට කටයුතු කරන බවට ඇතැමුන් චෝදනා නැගුව ද රට කැඬීමට හෝ බෙදීමට තමා කිසිවිටෙකත් සූදානම් නොමැති අතර, ඊට කිසිවෙකුට ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (01) පෙරවරුවේ පොළොන්නරුව, සෙවණපිටිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ බොරු ප‍්‍රචාරවලට සහ අවස්ථාවදී දේශපාලන උපක‍්‍රමවලට අද මේ රටේ ජනතාව හසුනොවන අතර, රට ගමන් කරන දිසාව පිළිබඳ ජනතාව අවදියෙන් කටයුතු කරන බවයි.

අද රටට අවශ්‍ය රජෙක් පාලනය කරන ඒකාධිපති පාලනයක් නොව ජනතාව විසින් රට පාලනය කරන ක‍්‍රමයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එම දේශපාලන මෙන්ම සමාජ පරිවර්තනය රට තුළ ඇති කිරීමට ඉකුත් වසර 03 තුළ තමන් කැපවූ බව සඳහන් කළේය.

අද දූෂිත දේශපාලනඥයින් එකම කණ්ඩායමක් ලෙස සන්ධානගතවෙමින් සිටින අතර මෙම වැඩපිළිවෙළ ජනතාව අවබෝධකරගත යුතු බව පැවසූ ජනාධිපතිතුමා ඔවුන් බොහෝ දෙනා බලය ඉල්ලන්නේ ජනතාවට සේවය කිරීමට හෝ රට සංවර්ධනයට කිරීමට නොව තම පුද්ගලික සංවර්ධනය උදෙසා බව ද කියා සිටියේය.

වංචා දූෂණ සිදුකරමින් ජනතාවගේ මුදල් කොල්ලකන සහ බලය අනිසි ලෙස භාවිතා කරමින් රාජ්‍ය සම්පත් විනාශ කරන දේශපාලනඥයින්ට එරෙහිව පසුගිය යුගයේ සිටි නායකයින් පියවර නොගත්තා මෙන්ම ඒ පිළිබඳ කථා කිරීමටවත් අකමැතිවීම හේතුවෙන් පසුගිය යුගයේ රට තුළ වංචා දූෂණ වැඩිවූ බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කොළඹ මහබැංකු මූලස්ථානයේ පැවති රජයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාවේ මැති ඇමතිවරු සමග රජයේ වංචා දූෂණ පිළිබඳ කතා කළ විට පසුදා උදෑසනම තමා අරලියගහ මන්දිරය වෙත කැඳවූ හිටපු නායකයා ආණ්ඩුවේ ඇමතිවරයෙක් සහ පක්ෂයේ ලේකම් ලෙස රජයේ වංචා දූෂණ පිළිබඳ කථා නොකළ යුතු බවටත්, වෙනත් ගමනක් යාමට සූදානම් වනවාදැයි තමාගෙන් ඇසු ප‍්‍රශ්නය පිළිබඳවත් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ වංචා දූෂණවලට එරෙහිව කටයුතු කිරීම පමණක් නොව ඒ පිළිබඳව කතා කිරීමටවත් නොහැකිනම් අනිවාර්යෙන්ම තමන් ජනතාව වෙනුවෙන් වෙනත් ගමනක් යා යුතු යැයි එදා තීරණය කළ බවයි.

වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කිරීමේදී පක්ෂ, පාට, තනතුරු, ඥාති මිත‍්‍රකම් කිසිවක් නොසලකන අතර අද රටේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී ද තම සහෝදරයන්ට ද එය කි‍්‍රයාත්මක වන්නේ එක ලෙස බව තමා මේ වන විට පෙන්වා තිබෙන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබුණි.

ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, එන්. වී. සමන්ත යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

මේ අතර පොළොන්නරුව, කලහගල ශී‍්‍ර ධර්මරාජ විහාරස්ථානයේ ස්ථාපිත කරන ලද ජල පිරිපහදු පද්ධතිය ද අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

"මෛතී‍්‍ර පාලනයක් – ස්ථාවර රටක්" ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් සැමට සුවසෙත සැලසෙන නිරෝගී ජන සමාජයක් බිහිකිරීමේ අරමුණින් වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන සහ ජපාන සංසදයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මිට්සුකි සුගී මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම ජල පිරිපහදු පද්ධතිය ඉදිකර තිබේ.

"පිබිදෙමු පොළොන්නරුව" දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ කලහගල ශී‍්‍ර ධර්මරාජ විහාරස්ථානයේ ඉදිකෙරුණු නව දහම් පාසල් ගොඩනැගිල්ල ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

විහාරාධිපති පොළොන්නරුව දිසාවේ ප‍්‍රධාන සංඝනායක කුරුවා ඕයේ ධම්මසිද්දී නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළකළහ.

උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

අනතුරුව පොළොන්නරුව දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවට මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනහමු කිහිපයකට ද ජනාධිපතිතුමා එක්විය.

ජනාධිපතිතුමා පළමුව එක්වූයේ දිඹුලාගල, ගල්තලාව ප‍්‍රදේශයේ පැවති ජනහමුවකටය.

අනතුරුව යාය 08 බෝධිය අසළ පැවති ජනහමුවකට ද ජනාධිපතිතුමා එක් විය.

ජනාධිපතිතුමා 1989 වසරේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ලෙස පත්වීමෙන් අනතුරුව පොළොන්නරුව ජනතාව වෙනුවෙන් දියත් කළ පළමු සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිකෙරුණු යාය 08 පාලම අසළ පැවති මෙම ජනහමුවට එක්වූ ජනාධිපතිතුමාට එම ප‍්‍රදේශවසීන්ගෙන් හිමිවූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.

ඉන් අනතුරුව යාය 05 ශී‍්‍ර විශුද්ධාරාම විහාරස්ථානය අසළ පැවති ජනහමුවකට ද ජනාධිපතිතුමා සහභාගී විය.

අරලගංවිල සහ විජයබාපුර කොට්ඨාස වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජනහමු සංවිධානය කර තිබුණි.

ඉන් අනතුරුව අරලගංවිල බෝගස් හංදිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට ද ජනාධිපතිතුමා එක්විය.

එහිදී ජනතාව අමතමින් ජනාධිපතිතුමා අවධාරණය කළේ තමා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස ආරම්භ කළ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම සහ කඩිනම් කිරීමට ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව විශේෂ වැඩකොටසක් ඉටුකළ බවයි.

දූෂණයට, වංචාවට සහ ඒකාධිපතිත්වයට එරෙහිව කටයුතු කළ ලෝකයේ රටවල නායකයින් සමග එම රටේ ජනතාව ද සෑම අවස්ථාවකම නැගී සිටී අතර, ජනතාව සමග එක්ව වංචාවට දූෂණයට සහ ඒකාධිපතිත්වට එරෙහි සටන ඉදිරියටම ගෙනයන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, උතුරු මැද පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මහජන නියෝජිත පිරිසක් ද මෙම ජනහමුවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්ය අංශය)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon