රිට් පෙත්සමට කරුණු දැක්වීමට දෙපාර්ශ්වයටම 15දා උසාවි එන්න නියෝග

  👤  1727 readers have read this article !
Published by : MB WEB 2018-01-11 15:43:14

කිසිදු සාධාරණ හේතුවකින් තොරව තම නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කරන ලදැයි පවසමින් මැතිවරණ කොමිසමටත්, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාටත්, අදාළ තේරීම් භාර නිලධාරීන්ටත් එරෙහිව ගොනු කොට ඇති 'රිට්' පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මේ මස 15 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එකී නිලධාරීන්ටත්, පෙත්සම්කරුවන්ටත් අභියාචනාධිකරණය ඊයේ (10දා) දින නියම කළේය.

නගර සභා 3කුත් ප්‍රාදේශීය සභා 5කුත් සඳහා ඉදිරිපත් කරන ලද තම නාම යෝජනා පත්‍ර මෙලෙස ප්‍රතික්ෂේප කරන ලදැයි පවසමින් මෙම පෙත්සම් ගොනු කොට ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සහ එකී පළාත් පාලන ආයතනවල මැතිවරණ කටයුතු සඳහා ලේකම්වරයා වෙනුවෙන් ක්‍රියා කිරීමේ බලය පවරනු ලැබ ඇති බලයලත් නියෝජිතයන් විසිනි.

ශිරානි ගුණරත්න හා එල්.ටී.බී. දෙහිදෙණිය යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ඊයේ මෙම පෙත්සම් 8ම කැඳවන ලද අතර ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා එකී සියලුම පෙත්සම් වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වීය.

නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා මැතිවරණ කොමිසමත්, කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් තිදෙනා සහ ඒ ඒ පළාත් පාලන බල ප්‍රදේශයන්හි මැතිවරණ තේරීම් භාර නිලධාරීන්ද වෙනුවෙන් පෙනී සිටියේය.

පානදුර, බදුල්ල හා මහරගම යන නගර සභා 3 හා මහියංගණය, අගලවත්ත, තිරප්පනේ, වැලිගම යන ප්‍රාදේශීය සභාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම පෙත්සම් එම පක්ෂය විසින් ගොනුකොට ඇති අතර එකී පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ අපේක්ෂක කණ්ඩායම් විසින්ද රිට් පෙත්සම් ඉදිරිපත් කොට තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon