ඔලිම්පික් උළෙලට ක්‍රිකට් දාගන්න පැරැණි ක්‍රීඩකයෝ පෙළ ගැසෙති

  👤  2271 readers have read this article !
Published by : MB WEB 2018-01-11 11:20:31

තවත් දශකයකින් පමණ එනම් එළැඹෙන 2028 වසරේදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා විස්සයි-20 ක්‍රිකට් තරග ඇතුළත් කිරීමට කුමාර් සංගක්කාරද සාමාජිකත්වය දරන එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුව මේ වනවිට සැළැසුම් කරමින් සිටී.

ඒ අනුව මේ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පසුගියදා සිඩ්නිහිදී පැවැත්වුණු අතර, එහිදී අදහස් දැක්වූ එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මයික් ගැටින්ගේ අදහස වී ඇත්තේ 2024 වසරේදී ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ඔළිම්පික් උළෙලට මෙහි අනුමැතිය ලබාගැනීමට උත්සාහ දරන බවත්, ඉන් අනතුරුව 2028 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට අදහස් කරගෙන ඇති බවය.

කෙසේ වෙතත් මේ වනවිට ඔලිම්පික් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් බලවතකු වන ඉන්දියාව හැකි ඉක්මනින් තමන්ගේ තහනම ඉවත් කර ගැනීමට උත්සාහ ගන්නා ලෙස මයික් ගැටින් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුව නියෝජනය කරන කුමාර් සංගක්කාර, රිකී පොන්ටින්, සව්රව් ගංගුලි රොඩ්නි මාෂ් ඇතුළු 14 දෙනකුගෙන් යුත් ස්වාධීන කමිටුවේ මතය වී ඇත්තේ මෙම කරුණ සාර්ථක හෝ අසාර්ථක වනු ඇත්තේ ක්‍රීඩකයන්ගේ කැමැත්ත හා ඔවුන්ගේ කැපවීම මත බවය.

"ඔලිම්පික් ක්‍රීඩාවට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වුණොත් සියලුම ක්‍රීඩකයන් දැඩි කැපවීමකින් තරග කරාවි. අනික මේක ඔලිම්පික් උළෙලක් නිසා ඔලිම්පික් සිහිවටන තැබීමට (වාර්තා) හැම කෙනාම උත්සාහ ගනීවි. ඒ වගේම මෙය තියුණු තරගාවලියක් බවටත් පත්වේවි" යන්නද ලෝක ක්‍රිකට් කමිටුවේ අදහස වී ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේවි රිචඩ්සන් මහතාගේද සහාය ඇතිව බහුතර සාමාජිකත්වය මෙම යෝජනාව සාර්ථක කර ගැනීමේ අරමුණින් මින් පෙරද කටයුතු කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon