කලකට පස්සේ වසන්තා තිලකාංගනී 'පොකුරු පුරා' එක්ක ඇවිත් wasantha thilakangani

  👤  2215 readers have read this article !
Published by : MB WEB 2018-01-07 16:04:27

ශ්‍රී ලාංකේය සුභාවිත ගීතයට නව අරුතක් එක් කරමින් 80 දශකයේදී ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ වෙනස් ආරක හඬක් ගොඩනැඟිනි."එපා තවත් ඔබ මා රවටන්නට......." ගීතය ඇය රසික සිත් සතන්හි නිදන් කරන්නට සමත් විය. ගීතයේ සැබෑ අරුත රසික හදවත් තුළට කා වද්දවමින් ශ්‍රී ලාංකේය සංගීතයේ සුවිශේෂී ගමනක් ගිය ඇය වෙන කවුරුත් නොව වසන්තා තිලකාංගනීය. ඒ අපූරු කලාවේදිනිය හදගැස්ම සමඟ කළ කතාබහයි මේ.....

වසන්තා තිලකාංගනී නම් ගායිකාව බිහි වන මුල ගැන මුලින්ම කියමු?

මම කලා පවුලකින් බිහිවෙන ගායිකාවක් නෙවෙයි. මම පුංචි පවුලකින් පැවැත එන කෙනෙක්. මගේ තාත්තා ධීවර සංස්ථාවේ සේවය කළ සේවකයෙක්. අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. ඒ වගේම අපේ තාත්තාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. ඒ වගේම හො¼දට ගීත ගායනා කරන්නත් පුළුවන්. ඉතින් ඒ ගායන හැකියාව පුංචි කාලේ ඉඳන් මටත් පිහිටලා තිබුණා. ඔය අතරේ අපි, තාත්තා ගෙදර එන හැම සති අන්තයකම පුංචි පහේ පැදුරු පාටියක් වගේ දෙයක් ගෙදර පවත්වනවා. එහිදී තමයි මගේ ගීත ගැයීමේ හැකියාව තවත් ඔප මට්ටම් වුණේ.

1984 අග භාගයේදී මට රජරට සේවයේ රජරට කැකුළු කියන ගුවන් විදුලි සංගීත වැඩසටහනට සහභාගි වෙන්න ලැබුණා. එහි තිබූ කටහඬ පරීක්ෂණයේදී මාව තේරුණා. ඉතින් එතැනින් තමයි මාගේ සංගීත දිවියට අඩිතාලම වැටෙන්නේ. එදා ඉඳන් අද වෙනකන් මට හොඳ සංගීතඥයන්ගේ ඇසුර, ඔවුන්ගේ උපදෙස් ලැබෙනවා. එතැනින් තමයි වසන්තා තිලකාංගනී කියන ගායිකාව බිහි වෙන්නේ.

කලා ලොවේ ඔබට ඇසුරු කරන්න ලැබුණු මහා කලා පෞරුෂයන් සිටින්න ඇති?

රජරට සේවයේ රජරට කැකුළු වැඩසටහන හරහා මට දැවැන්ත පුද්ගලයන් මුණ ගැහෙනවා. ඒ අතර ගුණදාස කපුගේ මහත්තයා, නන්දා මාලනී මහත්මිය, එඩ්වඩ් ජයකොඩි වගේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන්ගේ ඇසුර වගේම ගුරුහරුකම්ද නොඅඩුව ලැබුණා.
මේ අතරේ මට සංගීතය ඉගෙන ගන්න ගුරුවරියක් හම්බ වෙනවා. ඒ ඉන්ද්‍රාණි කුලතුංග මහත්මිය. ඇයගෙන් මම ලබාගත් පන්නරය අද දක්වා මට මේ තරම් දුරක් එන්න ලොකු ශක්තියක් වුණා.

මෑතකදී ඔබ අලුත් නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වුණාද?

මෑතකදී නව පරපුරේ චින්තක යසස් ලියූ ගීතයක් ප්‍රථම වතාවට දයාන් විතාරණ සමඟ ගායනා කළා. ඒ වගේම නව පරපුරේ විශිෂ්ට ගීත රචිකාවියක් වන අරුණි සමරවීර ලියපු පොකුරු පුරා කියලා ගීතයක් ගායනා කළා. සංගීතය මුසු කළේ ගීතදේව හේමලාල්. අනාගතයේ අරුණි හා මම එකතු වෙලා ඒ ගීතය වෙනුවෙන් මියුසික් වීඩියෝවක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පොකුරු පුරා ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ආරංචියි?

ඇත්තටම අරුණි මට කරපු මුල්ම ගීතය තමයි පොකුරු පුරා ගීතය. ඉතින් ඒ ගීතයට හේමලාල් සංගීතය මුසු කරලා සාධාරණය ඉෂ්ට කළා. ඒ නිසා ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. අරුණි නව පරපුරේ හොඳ දක්ෂ ගීත රචිකාවියක්. ඇය ලියූ ගීත වෙනත් අය ගායනා කරලා හොඳ ජනප්‍රියත්වයක් ලබලා තිබෙනවා. මට හිතෙනවා ඇයට සංගීත ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.

මියුසික් වීඩියෝවක් කළාම ඉස්සරහට තවත් ප්‍රතිචාර ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අරුණිට ස්තුති කරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. ඇයට සුබ පතනවා තව තවත් මෙවැනි හොඳ නිර්මාණ කරන්න ඇයට ශක්තිය ලැබෙන්න කියලා.

එදා ලාංකේය සංගීත ක්ෂේත්‍රය එක්ක බලද්දී අද සංගීත ක්ෂේත්‍රයේ ලොකු වෙනසක් ඔබ දකිනවාද?

ඇත්තටම ඒක ලොකු වෙනසක්. මොකද එදා ගායකයෙක් හෝ ගායිකාවක් බිහි වෙන්න මේතරම් ලොකු අවශ්‍යතාවක් තිබුණේ නැහැ. හැබැයි ඒ තිබ්බ විරල අවස්ථාවත් ඉතාමත් ප්‍රමිතියකට මෙන්ම උසස් ගණයෙන් පැවැතුණේ. ඒවා නියම රීතියකට, සැලැස්මකට තිබුණු වැඩසටහන්. ඉතින් එතැනින් ජයග්‍රහණය ලබාගත් පුද්ගලයා සැබෑම දක්ෂයෙක්. ඒ වගේම ඒ පුද්ගලයන් අදත් ලාංකේය සංගීතයේ යමක් කරනවා.

නමුත් කියන්න කනගාටුයි අද හැමදේම මුදලට නියම වෙලා. ගායකයෙක් වේවා, රංගන ශිල්පියෙක් වේවා අද එළියට එන්නේ තමන් වියදම් කරන මුදලත් එක්ක. ඒක ඇත්තට කනගාටුවට කාරණයක්. අපේ ලාංකේය කලා ක්ෂේත්‍රයට ඒක ලොකු බලපෑමක්.

වර්තමානයේදී රියැලිටි වැඩසටහන්වලින් ගායක ගායිකාවන් බොහෝ දෙනෙක් බිහි වෙනවා. ඒ අතරේ යමක් කරන්න පුළුවන් පිරිසක් බිහි වෙනවා කියලා ඔබ හිතනවාද?

ඇත්තටම එහෙම දක්ෂයන් කීප දෙනෙක් බිහි වෙනවා. හැබැයි මං හිතන්නේ ඒ ගොල්ලන්ට හරි මඟ පෙන්වීමක් අවශ්‍යයි. මට පේන විදියට ඒ නවක තරු බලෙන් ගෙන්නලා මේ ක්ෂේත්‍රයට ඔබ්බන්න හදනවා. ඒ හැමදේකටම මූලික වෙලා තියෙන්නේ මුදල්.

ඒ වගේම ඔවුන් එතැනට එන්නේ තවත් ප්‍රවීණයකුගේ ගීතයක්, තනුවක් නිසා වෙන්න පුළුවන්. නමුත් ඔවුන් ජනප්‍රියත්වයෙන් පසු අර ප්‍රවීණයන්ට ගරු කිරීම පවා අමතක කරලා දානවා. ඔවුන් මේ ක්ෂේත්‍රයට ඇදලා දාන්නේ මුදලුත් එක්ක. ඉතින් එතැනදී ඔවුන් වල්මත් වෙනවා. මොකද ඔවුන්ගේ ඔළුවේ තියෙන්නේ සංගීතය කියන්නෙ මුදලකට සීමා වුණු නිෂ්පාදන භාණ්ඩයක් හැටියට. ඇත්තටම අපි සියලු දෙනාම මේ ගැන මීට වඩා හිතන්න ඕන කාරණාවක්.

ඔබ රියැලිටි වැඩසටහන්වලට එකඟ නැද්ද?

නැහැ. ඇත්තටම එතැනින් සැබෑම දක්ෂයා බිහිවන්නේ නැහැ. මම කියන්නේ මේවා මීට වඩා ප්‍රමිතියකට කරන්න කියලා. මුදල් ලාභ බලාපොරොත්තුවෙන් පමණක් මෙවැනි වැඩසටහන් කරන්න හොඳ නැහැ.

සංගීත ක්ෂේත්‍රයට එන නවක ගායන ශිල්පීන්ට මොන වගේ පණිවුඩයක්ද දෙන්නේ?

ඉන්න දක්ෂයන්ට නිසිමඟ පෙන්වීමක් අවශ්‍යයි. ඇත්තටම ඔවුන් මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ දෙයක් ඉගෙන ගන්න තියෙන අවශ්‍යතාවට වඩා මුදල් හම්බ කරන්න ලැබෙන ආසාවට. මොකද ඔවුන් මේ ක්ෂේත්‍රයට ඇදලා දාන පිරිස් ඔවුන්ව ඇදලා දාන්නේ මුදල් කියන දේ ඔළුවට දාලා. එතැනින් එහාට ඔවුන්ට ඕනේ හරි දෙයක් කරන්න නෙවෙයි. මොනවා හරි කරලා කීයක් හරි හම්බ කරගන්න. අන්න එතැනදී ඔවුන් හැමදේම අනාගන්නවා.

ඇත්තටම අපි කරන්න ඕන අපිට ගැළපෙන, අපේ සංස්කෘතියට ගැළපෙන දේවල්. ඒ වගේ හොඳ නිර්මාණයක් කළොත් අපිට හෙමින් සීරුවේ හොඳ ගමනක් යන්න පුළුවන්.
ඒ කාලේ අපිට හම්බ වුණේ අමරදේව, කේමදාස, නන්දාමාලනී වගේ දක්ෂයන්. ඉතින් ඒ දැවැන්තයන්ගෙන් අපි උකහා ගත්තේ හොඳ දේවල් විතරයි. එතුමන්ලාගේ මඟ පෙන්වීම මත තමයි අපි යමක් කළේ. ඒ වගේම අපි ඔවුන්ට ගරු කළා. අදටත් එහෙමයි.

ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ඕනෙ නම් හරි දෙයක් හොඳ විදියට කරන්න කියලයි. ඒ වගේම ප්‍රවීණයන්ට ගරු කරලා ඔවුන්ගෙන් ලබාගන්න පුළුවන් දැනුම ලබාගන්න කියලයි.

ඔබ පුතාලා දෙදෙනකුගේ මවක්. ඔවුන් සංගීතයට ළැදිද?

පොඩි පුතා ගවිදු නිමේෂණ. සංගීතයට ළැදියි. එයා තබ්ලා ඩිප්ලෝමාව පාස් වෙලා සංගීතය හදාරමින් ඉන්නවා. ලොකු පුතා දමිදු තත්සරණ. දැනට යුධ යමුදාවේ සිවිල් තනතුරක් දරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon