අමන්දාට ආදර හොරෙක් ලැබිලා

  👤  2653 readers have read this article !
Published by : MB WEB 2018-01-04 16:06:00

අමන්දාගේ ජීවිතේ විශේෂම දෙයක් සිද්ධ වුණා. ඒ ගැන මුලින්ම කියමු?

ගැහැනු ළමයෙක් ආසාවෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි විවාහය. පවුලේ අය කැමැතියි තමන්ගේ දරුවා ඉදිරි අනාගතය වරදවා ගන්නේ නැතුව හරි කෙනෙක් විවාහ කර ගන්නවට. ගෙදර අයගේ කැමැත්තෙන් ඒ අය තේරුව කෙනාව තමයි මම තෝරා ගත්තේ. ඉතින් පසුගිය 28 වැනිදා මගේ විවාහ ගිවිස ගැනීම සිදුවුණා.

ඒ කියන්නේ අමන්දාගේ ජීවන සහකරුවා ජීවිතයට එකතු වුණේ විවාහ යෝජනාවක් නිසාද?

නැහැ. විවාහ යෝජනාවක් නෙවෙයි. මගෙන් යාළු වෙන්න අහපු කිසිම කෙනකුට මගේ පවුලේ අයගෙන් කැමැත්ත ලැබුණේ නැහැ. මගේ තාත්තාගෙන් මම එයා ගැන අහලා බැලුවා. තාත්තා එතකොට මට කිව්වා එයා තමයි ඔයාට ගැළපෙන්නේ, හිතලා බලන්න කියලා. පවුලේ අය කිව්වා වගේම එයා තමයි මට හරියන කෙනා.

කවුද ඔය ජීවිතයට හරිගිය කෙනා?

එයා දිමුතු පෙරේරා. විදේශගත වෙලා ඉන්නේ. එයා තමන්ගේ පාඩුවේ ව්‍යාපාර කටයුතු කරගෙන හරිම සාමාන්‍ය විදියට ඉන්න කෙනෙක්.

පවුලේ අයගේ තීරණයට මුල් තැන දෙන්න හිතුවේ?

පොඩි කාලේ අපි තේරුමක් නැතුව කරන දේවල් තියෙනවා. අන්තිමට තේරුම් ගත්ත දේ තමයි පවුලේ අය කියන දේ තමයි හරි දේ. පවුලේ අය කැමැති කෙනාට මම කැමැති වෙන එක වරදක් නැහැ. මොකද එයාලා මං ගැන දන්නවා. මට ගැළපෙන කෙනාව දන්නවා.

පවුලේ අය දිමුතුට කැමැති වෙන්න විශේෂ හේතුවක් තියෙන්න ඇති?

දිමුතු ලංකාවේ නෙවෙයි ඇමෙරිකාවේ ඉන්නේ. එයාව මුණගැහෙන්නේ නැතිව ෆෝන් එකෙන් කතා කළත් මගේ ළඟම ඉන්න තාත්තා, නංගි, මාමා වුණත් කියන්නේ එයා ආදරේ හොරකම් කරනවා කියලා. ඒක ඇත්ත කතාවක්. එයාව මුණගැහෙන ඕන කෙනෙක් ඔය කතාව කියනවා. එයාට හැමෝම හරිම කැමැතියි. ඒ වගේම ආදරෙයි. මම වගේම කෙනෙක් මට ලැබුණා කියලා මගේ පවුලේ අය ලොකු සතුටකින් ඉන්නේ.

සුදුසුම කෙනා ජීවිතයට ලැබුණේ කියලා හිතනවද?

එයා තමයි මට සුදුසුම කෙනා. ආදරය උපරිමෙන් ලැබෙනවා. ඔළුව නිදහස් කරගෙන වැඩ කරන්න මට ලැබිලා තියෙනවා. ළඟ හිටියේ නැතත් මගේ ආරක්ෂාව ගැන එයා හොයලා බැලුවා. ඒ නිසා මම හිතනවා හරිම කෙනාව තමයි මට මුණගැහිලා තියෙන්නෙ. ඒ නිසා ඉස්සරහටත් මේ ආදරෙන්ම ලස්සනට ඉන්න ලැබේවි.

ඔය ආදර කතාවට කොච්චර කල්ද?

අපේ ආදරේට අවුරුදු දෙකකට වැඩියි.

කොච්චර කාලයක් ආශ්‍රය කළත් මිනිස්සු තේරුම් ගන්න බැහැ කියලා කතාවක් තියෙනවනේ. දිමුතුව තේරුම් ගන්න ඔය කාලය ඇති කියලා හිතනවද?

ඒ කියන කතාව ඇත්ත. නමුත් මම හිතනවා මම මේ පාර වැරැදි දෙයක් තෝරා ගත්තේ නෑ කියලා. දිමුතුට මම වගේම මගේ ළඟින් ඉන්න හැමෝම කැමැතියි. ඒ නිසා මට වරදින එකක් නැහැ. එයා ගොඩක් ආදරේ හොරකම් කරන කෙනෙක්.

දිමුතු විදේශගත වෙලා සිටීම ඔය ආදර කතාවට බාධාවක් වුණේ නැද්ද?

එයා ලංකාවට ඇවිත් මාව බලල යනවා. හැමදාම එයාට මං ගාව ඉන්න බැරි වුණා. විදේශගත වෙලා රැකියාවක් කරන නිසා ලංකාවේ ලොකු කාලයක් රැඳිලා ඉන්න බැහැ එයාට. නමුත් අපි අපිව තේරුම් ගත්තා. ඒ නිසා තමයි මේ ආදරේ ඉදිරියටත් රැක ගන්න අපි එකතු වෙන්න හිතුවේ.

අමන්දා පෙම්වතෙක් ඉන්නවා කියලා වැඩි ප්‍රචාර යැව්වේ නැහැ. පෙම්වතා ගැන මෙච්චර කාලයක් හැංගුවේ ඇයි?

මම හිතන්නේ ඒක තමයි හොඳම දේ. හැමෝටම පෞද්ගලික දේවල් තියෙනවා. පෞද්ගලික දේවල් හැම එකක්ම කියන්න ගියාම සමහරු ඒවා කඩන්න උත්සාහ කරනවා. අපි ඒ වගේ ඒවා දැකලා තියෙනවා. මට ඕන වුණේ නැහැ අපේ ආදරයට ප්‍රශ්නයක් කරගන්න. එයා මං ගැන දන්නවා. මම එයා ගැන දන්නවා. ඉතින් මට හිතුණා වෙන අය මේකට මැදිහත් කරගෙන ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑ කියලා. මට ඒ වගේ දේවල් වෙලා තියෙන නිසා මම පාඩමක් ඉගෙන ගත්තා මගේ පෞද්ගලික දේවල් ප්‍රසිද්ධ නොකරන්න. මට දිමුතුව ඇත්තටම ඕන නිසා මට මෙයාව නැති කරගන්න ඕන වුණේ නැහැ. ඒ නිසා මම හරිම අවස්ථාව එනකල් ඉවසගෙන හිටියා.

ඒ කියන්නේ මෙදා සැරේ කිසි දේකට ඉක්මන් වුණේ නැහැ?

අම්මෝ ඔව්. කවුරුත් ආසයි මම ආදරේ කරන්නේ මෙයාට කියලා පෙන්නන්න. මගේ පවුලේ අයත් මට උපදෙස් දුන්නා හදිස්සි වෙන්නේ නැතිව ඉවසලා ඉන්න. එතකොට සතුටින් ඉන්න පුළුවන් කියලා. හදිස්සි වෙලා ෆොටෝ එළියට දාගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා කිව්වා. මගේ පවුලේ අයගේ උපදෙස් නිසා මට හරි ගියා. මටත් ලස්සන හොඳ කොල්ලෙක් ඉන්නේ. මටත් එයාව පෙන්න ගන්න ඕන වුණා. ඒත් මම ඉවසුවා.

සමහරු තමන්ගේ විවාහය ප්‍රමාද කරනවා. අමන්දා හිතනවද මේ තමයි විවාහයට සුදුසුම වයස කියලා?

මම හරි වයසෙදි තමයි විවාහ වෙන්නේ. සමහරු හිතනවා තමන්ගේ අභිවෘද්ධිය හදාගෙන තමයි විවාහ වෙන්න ඕනේ කියලා. නමුත් තමන්ගේ ජීවිතයට සහයෝගය දෙන කෙනෙක්ව කලින් විවාහ කරගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට දැන් අවුරුදු 26යි. අපේ විවාහ උත්සවය ගනිද්දී මට අවුරුදු 27යි. ඒ නිසා මම සුදුසු වයසේ මගේ ජීවිතයේ සුවිශේෂී තීරණය ගත්තා කියලා හිතනවා.

අමන්දාගේ නිරූපණ කටයුතුවලට, රංගන කටයුතුවලට දිමුතුගෙන් බලපෑමක් නැද්ද?

නැහැ. එයා මට මගේ දේවල්වලට උදවු කරනවා. ඒ නිසා මට හරිම පහසුයි ජීවත් වෙන්න. එයා මට කිසි දෙයක් කරන්න එපා කියන්නේ නැහැ. මම ජීවිතයේ හිතලා කළ යුතු දේවල් තියෙනවා. මම රස්සාවම බදාගෙන ඉන්න ඕනේ නැහැ. මම මගේ පවුල ලස්සනට තියාගන්න එක ගැනත් හිතන්න ඕන. මම පවුලට මුල්තැන දෙනවා. මට හොඳ අවස්ථා ලැබුණොත් එයා එපා කියන්නෙත් නෑ. මම කැමැති නැහැ මට දේවල් එපා කියලා බලපෑම් කරනවට. දෙයක් එපා කිව්වොත් ඒකේ අනික් පැත්ත තමයි මම කරන්නේ. මම දිමුතුව තෝරා ගත්තෙත් එයා මගේ ඔළුවට බරක් දෙන්නේ නැති නිසා.

විවාහ උත්සවයක් ගන්න තව කල් ගනියිද?

විවාහ උත්සවයත් සැලසුම් කරලා තියෙන්නේ. ඒවට ටිකක් කාලය අරගෙන පිළිවෙළට කරනවා. ඒකත් විවාහ ගිවිස ගැනීම කළා වගේ වෙන්න ඕන හරිම කලෙදි වෙයි.

විවාහ උත්සවය ගත්තට පස්සේ දිමුතු එක්ක අමන්දත් විදේශගත වෙයිද?

විවාහ වුණාට පස්සේ අපි එක තැනකට වෙන්න ඕන. විවාහ ගිවිස ගැනීමෙන් පස්සේ නෙවෙයි වෙඩින් එක ගත්තට පස්සේ විදේශගත වෙන්න හිතාගෙන ඉන්නවා.

එතකොට වෘත්තීයමය පැත්තෙන් අමන්දා ගොඩනඟාගත් තැනට මොකද වෙන්නේ?

මට හැමදාම වෘත්තිය අල්ලගෙන ඉන්න බැහැ. මට වඩා අලුත් අය ක්ෂේත්‍රයට එනවා. මට මේ තියෙන තැන හැමදාම තියාගෙන ඉන්නත් බැහැ. මට පුළුවන් කාලයක් මම නිරූපණ කටයුතු කරනවා. අයින් වෙන්න ඕන හරි වෙලාවේදී මම අයින් වෙනවා. විවාහ වුණාට පස්සේ පවුලට මුල් තැන දෙන්න ඕන කියලා තමයි මට හිතෙන්නේ.

අලුත් රංගන කටයුත්තකටත් අත ගැහුවා කියලා ආරංචියි?

මම වැඩ ටිකක් තෝරනවා වැඩියි. ඉවසලා ඉවසලා හොඳ වැඩක් ලැබුණොත් කරනවා. නැත්නම් නොකර ඉන්නවා. ළඟදි හොඳයි කියලා හිතුණු වැඩක් මම භාරගත්තා. ඒ "පැරිසියට පාර කියන්න" ටෙලි නාට්‍ය. ඒක තමයි මගේ අලුත්ම වැඩේ. මම රඟපාන තුන්වැනි නාට්‍ය මේක. එක පාර එක වැඩයි මම භාර ගන්නේ. වැඩ ගොඩක් බදාගෙන කළොත් එක වැඩක්වත් හරියට කරන්න බැහැ.

දිගටම රංගන කටයුතුවලට සම්බන්ධ වෙයිද?

මම කිසිම දෙයක් දිගටම කරනවා කියලා හිතාගෙන නැහැ. වැඩක් ලැබුණොත් තමයි මම හිතන්නේ මේක කළොත් හොඳද නරකද කියලා. ඒ විදියට හිතලා මම අතහැරපු වැඩ ගොඩක් තියෙනවා.

වැඩ ගොඩක පෙනී සිිටීමේ උණක් අමන්දාට නැද්ද?

එහෙම උණත් කොහෙත්ම නැහැ. මට හිතට හරියන්නෙ නැත්නම් මම ඒ වැඩ අතහරිනවා.

ජීවිතය ගැන ඉදිරියට සැලසුම් කරගත්ත දේවල් ඇති?

අපි දෙන්නා ජීවිතේ සැලසුම් කරගත්ත ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් ඉෂ්ට කරගෙනම කියමු නේද.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon