ලංකාවට එන අලුත්ම විදුලි කාර් එක

  👤  7306 readers have read this article !
Published by : MB WEB 2017-12-23 17:03:17

ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථයක් ලොවට හඳුන්වා දෙමින් මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විප්ලවයකට මුල පුරන ලද්දේ ජපානයේ නිසාන් සමාගමයි.

කාබන්වලින් තොර හරිත ලෝකයක් පිළිබඳව මුළු ලොවම කතා බහ කරන යුගයක ඔවුන් හඳුන්වා දුන් "නිසාන් ලීෆ්" මෝටර් රථය ඉතා අනගි සොයා ගැනීමක් වුණා. මෙම මෝටර් රථය ලංකාවට ප්‍රවේශ වූයේ 2014 වසරේදීයි. ඉන්ධන භාවිත නොකිරීම, නඩත්තු අනවශ්‍ය වීම ආදිය හේතුවෙන් මෙය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතර ජනප්‍රියත්වයට පත්වුවද 2015 වසරේ විදුලි මෝටර් රථ සඳහා පනවන ලද 50%ක බදු හේතුවෙන් ඉල්ලුම අඩුවන්නට පටන් ගත්තා.

මෙම පරම්පරාවේ වැඩි දියුණු කරන ලද ඊළඟ පරම්පරාවේ "ලීෆ්" විදුලි මෝටර් රථය නුදුරේදීම ආනයනය කිරීමට ඇසෝසියේටඩ් මෝටර් වේස් (පෞද්ගලික) සමාගම සූදානම් වෙනවා.

මේ ඒ පිළිබඳව එහි සමූහ අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සහ නිසාන් වැඩබලන සාමාන්‍යාධිකාරි ප්‍රදීප් කේ. විජේරත්න මහතා කළ කරුණු දැක්වීමක්.

දැනට ලංකාවේ භාවිත වන නිසාන් ලීෆ් මෝටර් රථයේ බැටරිය පූර්ණව බලගැන්වූ පසු ධාවනය කළ හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝමීටර් 160ක් වෙනවා. එහි මෝටරයේ ධාරිතාව කිලෝවොට් 80යි. බැටරියේ ධාරිතාව කිලෝ වොට් පැය 25යි. අලුතින් හඳුන්වා දෙන ලද නිසාන් ලීෆ් 2017 මාදිලියේ මෝටරය වැඩි දියුණු කර ඇති අතර එහි මෝටරය කිලෝ වොට් 110ක ධාරිතාවකින් යුක්තයි. බැටරියේ ධාරිතාව කිලෝ වොට් පැය 40යි. මේ බැටරිය පූර්ණ බල ගැන්වීමකින් කිලෝ මීටර් 400ක් විතර දුර ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා.

මේකෙ හෝන් එකට, ලයිට්වලට විදුලිය ලබාගන්න සූර්ය තාපයෙන් බලගැන්වෙන වෙනම පද්ධතියක් තියෙනවා. තිරිංග, එයාර් බෑග්, ඉන්ටෙලිජන් කී ආදී අනෙකුත් පහසුකම් අද තියෙන නවීනතම පහසුකම්වලින් යුත් මෝටර් රථයකට දෙවැනි නැහැ. මේකෙ අනිත් විශේෂත්වය තමයි දෙදරීම අඩුකම. පැට්රල් හෝ ඩීසල් වාහනයකට වඩා වැඩි වේගයකින් විදුලි මෝටර් රථ ධාවනය කළ හැකියි. මේ ලීෆ් රථයට පැයට කිලෝමීටර් 160-170ක වේගයෙන් යෑමේ හැකියාව තිබෙනවා.

විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථවල තිබෙන ප්‍රධානතම වාසියක් වන්නේ එය නඩත්තු කිරීම ඉතා අවම වීමයි. ඉන්ධනවලින් ධාවනය වන මෝටර් රථ කිලෝ මීටර් 5000කට වරක් "සර්විස්" කළ යුතු වුවත් විදුලි මෝටර් රථවලට එහෙම අවශ්‍යතාවක් මතු වන්නේ නැහැ. කළයුතු එකම දේ කාලෙකට පස්සේ රෝද ගලවලා තිරිංග පුවරුවල බැඳී ඇති දේ සුද්ද පවිත්‍ර කිරීම පමණයි.

කෙසේ නමුත් දැනට පවතින තත්ත්වය මත මෙය පාරිභෝගිකයා අතට පත් කිරීමේ බාධාවක් මතුව පවතිනවා. ඒ මේ සඳහා පනවා ඇති බදු හේතුවෙන්. රජය පසුගිය අය-වැයෙන් විදුලි මෝටර් සඳහා පනවා ඇති බදු මුදල් අඩු කළා. ඒ කාණ්ඩ 4ක් යටතේ. මේ බදු අය කරන්නේ වාහනයේ මෝටරයේ ධාරිතාව (ඉන්ධන වහනවල ඇන්ජිමේ ධාරිතාව) මතයි. ඒ අනුව මෝටරයේ ධාරිතාව කිලෝවොට් 50 හෝ ඊට අඩු නම් කිලෝවොට් එකට රුපියල් 15,000 සිට 7500 දක්වාත්, 51-100 දක්වා 25,000 සිට 12,500 දක්වාත් 101 සිට 200 දක්වා 40,000 සිට 25,000 දක්වාත් 200ට වැඩි නම් 55,000 සිට 40,000 දක්වාත් මේ බදු අඩු කිරීම සිදු වෙනවා.

මේ අඩු කිරීම අනුව අලුත් නිසාන් රථය වැටෙන්නේ 3 වැනි කාණ්ඩය යටතටයි. ඒ අනුව බදු මුදල රුපියල් 27,50,000ක් වෙනවා. ජපානයේ මේ වාහනයක මිල රුපියල් ලක්ෂ 53-54ක් වෙනවා. ඒ අනුව ලංකාවේ මේක අලෙවි කරන්න වෙන්නේ ලක්ෂ 80කට වඩා වැඩි මුදලකට. මේ මුදලකට ගත හැකි වෙනත් විශාල වාහන තිබෙන හින්දා පාරිභෝගිකයන් මේ වාහනය මිලදී ගන්න උනන්දු වෙන්නේ නැහැ. එහෙම උනන්දු වෙන්න නම් මේකෙ මිල ලක්ෂ 65-70 අතර විය යුතුයි.

ගැමුණු රත්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon