සමීර සඳ පිනි වැස්ස අරගෙන ආවේ වාරණ වලින් බේරෙන්නද?

  👤  2213 readers have read this article !
Published by : MB WEB 2017-12-14 17:15:50

• මොකක්ද මේ සමීරගේ සඳ පිනි වැස්ස?

මේ නාට්‍ය ස්වර්ණවාහිනියේ මහේන් පෙරේරාගේ සංකල්පයක්. අරුණ ප්‍රේමලාල් තමයි නාට්‍ය ලියන්නේ. මම තමයි එය අධ්‍යක්‍ෂණය කරන්නේ. පවුලක කතන්දරයක් එක්ක තමයි මේ නාට්‍ය දිග හැරෙන්නේ. සතියේ දින පහේ ස්වර්ණවාහිනි නාළිකාවේ රාත්‍රි 7.30ට මේ නාට්‍ය විකාශය වෙනවා.

• අලුත් නිර්මාණයකට අතගහන්න ඇයි මෙච්චර කල් ගත්තේ?

ගුණාත්මක නිර්මාණයක් කරන්න ටිකක් කල් ඕන.

• පසුගිය කාලේ සමීරගේ නාට්‍ය වාරණයට ලක්වුණ නිසා නෙවෙයිද නිර්මාණයකට මෙච්චර කල් ගත්තේ?

ඇත්තටම මගේ යාල් දේවි වගේ නාට්‍ය කීපයක් වාරණයට ලක් වුණා. ඒ නාට්‍ය දිගින් දිගටම විකාශය වුණේ නැහැ. මේ කලාව කරන්න එන මිනිස්සු ළඟ කලාව නැති වුණාම දිගු ගමනක් යන්න බැහැ. ඒත් එක්කම පොඩි නිහැ¾ඩියාවක් තිබුණා.

• දැන් අලුත් නාට්‍යවලට අතගහන්නේ වාරණ සහ අභියෝගවලට මුහුණ දෙන්න බලාගෙනද?

ඇත්තටම ඒක ලොකු අභියෝගයක් නෙවෙයි. අපේ ප්‍රේක්‍ෂකයා බොහොම බුද්ධිමත්. දැන් එළියට බැස්සහම ඕන තරම් නාට්‍ය රූගත කිරීම් කරනවා. ලංකාවේ නාට්‍ය කියන්නේ පුංචි වෙලාවක ඉඩ හසර වෙන්වුණ පුංචි දෙයක් විතරයි.

• සඳ පිනි වැස්ස, නාළිකාවක ඉල්ලීමක් නිසා ප්‍රශ්නයක් නෑ නේද?

මේ නාට්‍ය ස්වර්ණවාහිනිය සමඟ මූලික මාධ්‍ය සාකච්ඡා පවත්වමින් තමයි පටන් ගත්තේ. ජනක සම්පත් කියන නිෂ්පාදකවරයා විසින් මාව තෝරා පත්කරගත්ත වැඩක් මේක.

• ඔබේ නාට්‍ය විකාශය වෙන්නේ රාත්‍රි 7.30ට. වෙනත් නාළිකාවක විකාශය වන සිදූ වගේ නාට්‍ය බලන ප්‍රේක්‍ෂකයන් සඳ පිනි වැස්ස නාට්‍යට කඩා ගන්න පුළුවන්ද?

මං හිතන්නේ මගේ නාට්‍යයට ප්‍රේක්‍ෂකයෝ නැඹුරු වෙයි. රූපවාහිනියෙන් විතරක් නෙවෙයි දැන් අන්තර්ජාලයෙනුත් ප්‍රේක්‍ෂකයන් නාට්‍ය නරඹනවානේ.

• සඳ පිනි වැස්සේ රංගන ශිල්පීන් ගැන මතක් කළොත්?

ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ කාවිංග පෙරේරා, මාධව විජේසිංහ, වසන්ත විට්ටච්චි, නිල්මිණි තෙන්නකෝන්, ෂෙහානි කහඳවල, අනුරාධා එදිරිසිංහ, ගිහාන් ප්‍රනාන්දු සහ කුමාරි මුණසිංහ වගේ කලාකරුවන් පිරිසක්.

• නළු නිළියන් තෝරා ගනිද්දී කාගෙන්වත් සමීරට බලපෑම් ආවේ නැද්ද?

ඒක නම් ඉතිං අපි හැමෝම කතා කරලා තීරණය කළේ. අපිට නළු නිළියෝ ඉන්නේ බොහොම සුළු පිරිසක්නේ. ඒක ලොකු අර්බුදයක් තමයි. ඒත් කාගෙන්වත් බලපෑමක් සිදුවුණේ නැහැ.

• ඒ කියන්නේ චරිතවලට ගැළපෙනම අය ලැබුණා කියන එකද?

මෙහෙමයි, අපේ රටේ චරිතයට සියයට සියයක් ගැළපෙන අය හොයා ගන්න අමාරුයි.

• සමහරු විදෙස් නාට්‍ය සමඟ තරග කරන්න නිර්මාණ හදනවා. ඔබටත් විදෙස් නාට්‍ය සමඟ තරගයක් තියෙනවාද?

විදේශ නාට්‍ය සමඟ අපිට තරග කරන්න බැහැ. එහෙම කළොත් තමයි අපේ නාට්‍යවල තියෙන දුප්පත්කම, දුර්වලකම පේන්නේ. රංගනය, ආලෝක කටයුතු වගේ හැමදේකම මම හිතන්නේ අපි ගොඩක් පහළින් ඉන්නේ.

• ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට සුබවාදී කාලයක්ද මේ?

පැහැදිලිවම සුබවාදී පැත්තක් නැහැ. ටෙලි නාට්‍යවලට බොහොම අවිනිශ්චිත තත්ත්වයක් තියෙන්නේ. මට හිතෙන්නේ පොඩි අවදානමක් තියෙනවා. මිනිසුන්ට ඉහළ රසාස්වාදයක් ලබා දෙන්න අමාරුයි.

• මීදුම් අම්මා, යාල් දේවි වගේ නාට්‍ය වල තිබුණ කොලිටිය සඳ පිනි වැස්සෙත් තියෙනවද?

ඔව්. මෙහෙමයි මේ හැම නාට්‍යයකින්ම විවිධ පැතිකඩවල් නිරූපණය වෙනවා. හැම නාට්‍යයකම විවිධත්වයක් තියෙනවා.

• මීදුම් අම්මා ටෙලි නාට්‍ය තුළ ප්‍රවීණයන් බොහෝ දෙනෙක් විශිෂ්ට රංගනයන් ඉදිරිපත් කළා. හැබැයි ඔවුන්ට ඔබේ නිර්මාණය වෙනුවෙන් සම්මානනීය වෙන්න බැරි වුණා නේද?

ඔව්. ඇත්තටම හේමසිරි ලියනගේ, මාලනී ෆොන්සේකා, වසන්ත විට්ටච්චි සහ ජයනි සේනානායක වගේ ප්‍රවීණයන් කුසලතා සම්මානයකටවත් සුදුසු වුණේ නැහැ. ඒත් වෙන පැතිවලින් නම් නාට්‍ය නොමිනේට් වුණා.

• සමීරගේ අධ්‍යක්‍ෂණ කාර්ය ඇතුළේ තියෙන අරමුණ මොකක්ද?

මම ඇත්තටම සිනමාවට ආදරෙයි. නමුත් මේ වෙලාවේ මම වැඩ කරන්නේ අධ්‍යක්‍ෂක භූමිකාවක් ඔළුවේ තියාගෙන නෙවෙයි. මේ වෙලාවේ මම ජීවත් වෙන්න තමයි මේක කරන්නේ.

• අලුත් වැඩ මොනවාද?

"පැරීසියට පාර කියන්න" කියලා නිර්මාණයක් කළා. සිනමා නිර්මාණයක් කරන්නත් පුංචි අදහසක් තියෙනවා.

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon