ඉන්දියානුවෝ එකට එක කරති:මැතිව්ස්ගේ හුදෙකලා සටන අපතේ යයි

  👤  1757 readers have read this article !
Published by : MB WEB 2017-12-14 09:51:12

රෝහිත් ෂර්මා තම එක් දින දිවියේ තුන් වැනි ද්විත්ව ශතකයද වාර්තා කරමින් ඊයේ මොහාලි ක්‍රීඩාංගණයේදී දැක්වූ අතිවිශිෂ්ට පිතිහරඹය නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 141ක පරාජයක් හිමි විය.

කාසියේ වාසිය පරාජය වූ ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිල පළමුව පන්දුවට පහර දී කඩුලු 4කට ලබාගත් ලකුණු 392 හඹා යෑමට ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 251කට කඩුලු 08ක් දැවී යෑමෙන් පරාජය අත්කරගත් අතර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජිලෝ මැතිව්ස් තම දෙවන එක්දින ශතකයද වාර්තා කළේය.

රෝහිත් ෂර්මා හයේ පහර 12ක් සහ හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 208ක් ලබා ගැනීමට සමත් විය. එය ඔහුගේ තුන් වැනි එක්දින දිවිත්ව ශතකය මෙන්ම ලංකාවට එරෙහිව දෙවැනි ද්විත්ව ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්වූ අතර එවැනි දක්ෂතාවක් දැක්වූ ලොව එකම පිතිකරු බවට රෝහිත් ශර්මා පත්විය. තවද එය මොහාලි ක්‍රීඩාංගණයේදී පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය.

ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සචිත් පතිරණගේ පන්දුවක් හමුවේ ළහිරු තිරිමාන්න අතට උඩපන්දුවක් ලබා දී ශිකර් ධවාන් ලකුණු 68කට දැවී යනවිට ඉන්දීය ලකුණු පුවරුව පන්දු වාර 21කදී ලකුණු 115ක් ලෙස සටහන් විය. එම දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ශේ‍රයාස් අයියර් තිසර පෙරේරාගේ පන්දුවකට චතුරංග ද සිල්වා අතට උඩපන්දුවක් ලබාදී ලකුණු 88කට දැවී ගියද ඔහු නායක රෝහිත් ෂර්මා සමඟ එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 213ක සබඳතාවක් පැවැත්වීම විශේෂත්වයකි.

අයියර්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි මහේන්ද්‍ර සිං දෝනි හට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නායක තිසර පෙරේරා ඉඩ ලබා නොදුන් අතර තිසර පෙරේරා හමුවේ මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 7ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ඉන්පසු පිටියට පිවිසි හර්දික් පාණ්ඩ්‍යා ඉන්දීය ඉනිමේ යැවූ අවසන් පන්දුවේදී තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ ළහිරු තිරිමාන්න අතට උඩපන්දුවක් ලබා දී ලකුණු 8කට දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස උපුල් තරංග හාර්දික් පාණ්ඩ්‍යාගේ පන්දුවකට දිනේෂ් කාර්තික් අතට උඩපන්දුවක් ලබා දී ලකුණු 7කට දැවී ගිය පසු ඔහු අනුගමනය කළ ධනුෂ්ක ගුණතිලක ජස්ප්‍රිත් බුම්රාගේ පන්දුවකට මහේන්ද්‍ර සිං දෝනි අතට උඩපන්දුවක් ලබා දීමෙන් ලකුණු 16කට දැවී ගියේය. දෙවැනි කඩුල්ල දැවී යෑමෙන් අනතුරුව පන්දුවට පහරදීමට පැමිණි ඇන්ජිලෝ මැතිව්ස් සමඟ ළහිරු තිරිමාන්න එක්ව ලකුණු 32ක සබඳතාවක් ගොඩනැඟුවද වොෂිංටන් සුන්දර්ගේ මංගල කඩුල්ල ලෙස පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා පන්දු 35කට මුහුණදුන් ළහිරු තිරිමාන්න ලකුණු 21කට දැවී යෑමත් සමඟ එම සබඳතාව බිඳවැටිණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ හතරවැනි කඩුල්ල බවට පත් වූ නිරෝෂන් දික්වැල්ල යුස්චේන්ද්‍ර චහාල්ගේ පන්දුවකට වොෂිංටන් සුන්දර් අතට උඩපන්දුවක් ලබාදී දැවී යන විට ලකුණු 22ක් ලබාගෙන සිටියේය. අසේල ගුණරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 34ක් ලබා සිටියදී යුස්චේන්ද්‍ර චහාල්ට ගොදුරු වූයේ මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. මේ අතර ලකුණු 5ක් ලබා සිටි ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා යුස්චේන්ද්‍ර චහාල්ගේ පන්දුවකට මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් ලබා දී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 166ක් ලෙස සටහන් විය. සචිත් පතිරණ ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්වැනි කඩුල්ල ලෙස බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවකට ෂිකර් ධාවන් අතට උඩපන්දුවක් ලබා දීමෙන් ලකුණු 2කට දැවී ගියේය.

මේ අතර අකිල ධනංජය ජස්ප්‍රිත් බුම්රාගේ පන්දුවකට නායක රෝහිත් ෂර්මා අතට උඩපන්දුවක් ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ 8 වැනි කඩුල්ල ලෙස දැවී යද්දී ලකුණු 11ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගය ජයගෙන ඉන්දියාවේදී එක්දින තරගාවලියක් ජයග්‍රහණය කිරීමේ සිහිනය සැබෑ කරගැනීමට බලාපොරොත්තු වුවද මෙම තරගයේ පරාජයත් සමඟම එය තුන් වැනි තරගය දක්වා කල් දැමීමට සිදුවිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon