දුම්රිය වර්ජනය අත්හරින පාටක් නැහැ

  👤  1565 readers have read this article !
Published by : MB WEB 2017-12-13 10:07:05

උපතිස්ස පෙරේරා

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ගැන සලකා වර්ජනය අත්හිටුවා සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කළද ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකිව යුත්තන් තම වෘත්තීය ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්නේ නම් වර්ජනය නවතා සේවයට වාර්තා කිරීමට සූදානම් බව සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ලේකම් එස්. පී. විතානගේ මහතා සඳහන් කරයි.

හයවැනි දිනටත් ඊයේ (12දා) දුම්රිය සේවක වර්ජනය, වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ අතර වර්ජනයේ නිරත වෘත්තීය සංගම් 7ක සේවකයන් ඊයේ සේවයට වාර්තා කළ බව දුම්රිය මූලස්ථානය සඳහන් කරයි. එහෙත් දුම්රිය ධාවනයට අත්‍යවශ්‍ය දුම්රිය රියැදුරු, නියාමක හා ස්ථානාධිපතිවරු අඛණ්ඩව වර්ජනයේ නිරතව සිටිති.

ඊයේ දිනයේ දුම්රිය ගමන්වාර 40ක් පමණ ක්‍රියාත්මක වූ බවත් කෙටිදුර සේවාවලට අමතරව ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා වූ ශීඝ්‍රගාමී සුඛෝපභෝගී දුම්රියක්ද ඊට ඇතුළත් බවද දුම්රිය මූලස්ථානය සඳහන් කරයි.

ශන්ටින් රියැදුරන් සහ රියැදුරු සහායකයන් දුම්රිය රියැදුරන් ලෙස සේවයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ දැරූ උත්සාහයක් අසාර්ථක වූ බවද එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඊයේ පෙරවරුවේ පොල්ගහවෙල හා අලුත්ගම සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියයන් මගීන්ගෙන් පිරී තිබූ අතර ඒවාට ගොඩවීමට නොහැකිව දුම්රිය ස්ථානවල රැඳී සිටි අයුරුත් ඇතැම් පිරිස් දුම්රියේ වහලය මත ඇන්ජිමේ සහ දුම්රිය මැදිරි අතර එල්ලී අනතුරුදායක ලෙස රැඳී සිටි අයුරුද දක්නට ලැබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon