ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට ඇමරිකාව සූදානම්

  👤  968 readers have read this article !
Published by : MB WEB 2017-12-07 15:31:52

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම් ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට සූදානම් බව ජ්‍යෙෂ්ඨ පරිපාලන බලධාරියෙකු පවසා තිබේ.

මතභේදයට තුඩු දී ඇති එම තීන්දුව ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ටෙල් අවීව් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වසර කිහිපයකින් ජෙරුසලම වෙත ගෙන යාම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළ වේ.

ඊශ්‍රායලය විසින් අදාළ වෙනස්කම් පිළිගනු ලැබ ඇති නමුත් එම වෙනස්කම් මගින් මැදපෙරදිග සාම ක්‍රියාදාමය කඩාකප්පල් වනු ඇති බවට පලස්තීන සහ අරාබි රටවල නායකයෝ අනතුරු අඟවති.

නැගෙනහිර ජෙරුසලම සිය අනාගත රාජ්‍යයේ අගනුවර ලෙස පලස්තීනය විසින් සලකනු ලැබූ අතර ඊශ්‍රායලය විසින් ද ජෙරුසලම සිය අගනගරය ලෙස සලකන ලදී.

1948 වසරේ ඊශ්‍රායලය ස්ථාපනය වූවායින් පසු ජෙරුසලම එරට අගනුවර වශයෙන් පිළිගන්නා ප්‍රධාන රට බවට ඇමරිකා එක්සත් ජනපදය පත්වනු ඇත.

අදාළ මතභේදය අරාබි සහ මුස්ලිම් රටවල සහාය ලබන පලස්තීනය සහ, ඊශ්‍රායලය අතර ගැටුමේ මූලික කරුණු අතරින් එකකි.

ජෙරුසලමෙහි නැගෙනහිර කොටස, යුදෙව්, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජනයාගේ ඉතා වැදගත් පූජනීය ස්ථාන පිහිටි ප්‍රදේශයකි.

1967දී සිදුවූ මැදපෙරදිග යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය ජෝර්දානයෙන් කොටසක් අත්පත් කරගැනීමෙන් අනතුරුව, එය ඔවුන්ගේ නොබෙදිය හැකි අගනගරය ලෙස සලකන ලදී.

1993 ඊශ්‍රායල - පලස්තීන සාම ගිවිසුමට අනුව, ඒ පිළිබඳ සාකච්ඡාව පසුවට කල් දමා තිබිණි.

කෙසේවුවද, ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආධිපත්‍යය ජාත්‍යාන්තරය නොපිළිගත් අතර, තම තානාපති කාර්යාල ටෙල් අවිව් නගරයේ පවත්වාගෙන ගියේය.

නැගෙනහිර ජෙරුසලමේ වාසය කරන දෙලක්ෂයක් පමණවන යුදෙව් ජාතිකයන්ට 1967 සිට ඊශ්‍රායලය විසඳුම් ගණනාවක් ඉදිරිපත් කළේය. අන්තර්ජාතික නීතියට අනුව මෙම තත්ත්වයන් නීති විරෝධී ලෙස සැලකුව ද, ඊශ්‍රායලය ඊට එකඟ නොවීය.

ඊශ්‍රායලයේ අගනගරය ලෙස ජෙරුසලම පිළිගැනීම ඇමරිකානු රජය "යථාර්තය පිළිගැනීමක්" බව ට්‍රම්ප් පාලනයේ නිලධාරියෙක් පැවසුවේය.

කෙසේවුවද, නගරයේ නිශ්චිත මායිම් සම්බන්ධයෙන් අවසන් එකඟත්වයකට පැමිණියයුතුව ඇතැයි නිලධාරියා සඳහන් කළේය. ඒ අනුව පූජනීය ස්ථානවල තත්ත්වය නොවෙනස්ව පවතිනු ඇත.

තානාපති කාර්යාලය ජෙරුසලමට රැගෙනයාමට කටයුතු කරන ලෙස ඇමරිකානු ජනපතිවරයා රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස්දී ඇත. නමුත් ආරක්ෂක සැලසුම් හා ඉදිකිරීම් හේතුවෙන් ඒ සඳහා වසර කිහිපයක් ගතවනු ඇත.

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon