වයලීනයේ තත් සිඳුණා

  👤  1417 readers have read this article !
Published by : MB WEB 2017-12-02 15:18:14

ප්‍රකට වයලීන වාදකයකු වූ රුවන් වීරසේකර වසර දෙකක පමණ කාලයක සිට අසනීප තත්ත්වයෙන් සිටි බව අප හැමෝම දැන සිටි කාරණයක්. දියවැඩියා රෝගය හේතුවෙන් කෝමා තත්ත්වයට පත්ව සිටි ඔහු නිරෝගී තත්ත්වයකට පැමිණ නැවත වයලීන් නාදයෙන් රසිකයන් මුසපත් කරාවි යැයි ඔහුට ආදරය කළ බොහෝ දෙනා ප්‍රාර්ථනා කළා.

නමුත් ඒ සියලු ප්‍රාර්ථනා බොඳ කරමින් පසුගියදා රුවන් අපි අතරින් සදහටම සමුගෙන යන්න ගියා.

රුවන් ගැන බොහෝ දෙනකු දැනගෙන සිටියේ වැඩිපුර කතාබහ නොකරන පුද්ගලයකු විදියටයි. නමුත් ඒ මුවග රැඳුණු සිනහව නම් හැමවිටම එක ලෙස පැවතුණා. වයලීන් වාදනයට ඔහු දැක්වූ දක්ෂතාවත් ප්‍රතිභාවත් ඒ වගේමයි.

1965 අගෝස්තු 8දා උපන් රුවන් මිය යනවිට 52 හැවිරිදි වියේ පසුවුණා. මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු සංගීතයෙන් විස්කම් දැක්වූයේ 15 වැනි වියේ සිටමයි. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ විශාරද උපාධිය ඔහු ලැබුවේ අවුරුදු 18දීයි.

රුවන් වයලීන වාදකයකු මෙන්ම දක්ෂ ගායකයෙක්. ස්පාඤ්ඤ, රුසියා, දකුණු හා උතුරු ඉන්දියානු හා අරාබි ගීත ගායනයට ඔහු දැක්වූයේ මනා දක්ෂතාවක්. බොහෝ දෙනා නොදන්නවා වුණාට රුවන් රංගන ශිල්පියකු විදිහටත් වරක් අපිට මුණගැහුණා. ගීත රචක චමින්ද රත්නසූරිය විසින් රචනා කරන ලද, සංගීතවේදී නදීක ගුරුගේ සංගීතවත් කළ චතුරිකා ගීතාලි විසින් ගායනා කරන ලද 'සුපෙම් ගීතාව' ගීතයේ මියුසික් වීඩියෝව තුළින් රුවන් ප්‍රථම වතාවට රංගන ශිල්පියකු ලෙස අපිට හමු වුණා. බොහෝ දෙනකු සිතුවේ මෙම ගීතය රුවන්ට සුපෙම් ගීතාවක් වනු ඇත කියලයි. ඒ තරම් දක්ෂ විදියට ඔහු ඒ ගීතයට තම රංගනයෙන් සාධාරණය ඉෂ්ට කළා.

නමුත් නොහිතන නොපතන විදියට අප කරා එන ලෙඩ දුක් අපේ සියලු බලාපොරොත්තු ඉලක්ක සුනු විසුනු කරන බවට උදාහරණ සපයමින් ඔහු ජීවිතය හැර ගියා.

හැකියාවෙන් බොහෝදුර ගමනක් යා හැකිව තිබූ රුවන් ඒ සියල්ල අතහැරියා.

අවසන් කාලයේ සිහිකල්පනාව, යමකු හඳුනාගැනීමේ හැකියාව, ශරීරාංග චලනය කිරීමේ හැකියාව යනාදී සියල්ල අහිමි වූ රුවන්ට හැකි වූයේ යාන්තමින් හිස හා දකුණු කකුල සෙලවීමට පමණයි. ඔහුගේ අවශ්‍යතා සඳහා වැය කළ යුතු මුදල් සෙවීම උදෙසා ගී ප්‍රසංගයක් පැවැත්වීමටත්, රුවන්ගේ සුවය පතන කලා මිතුරන් සූදානම් වුවත් ඒ සියල්ලට පෙර ඔහු යන්න ගියා. අම්මා, තාත්තා, වැඩිමහල් සොයුරා හා වයලීනයට පෙම්බැඳි රසිකයන් හඬවමින් ඔහු අද සුව නින්දේ.

දශක ගණනාවක් පුරා වයලීනයේ තත් පිරිමදිමින් ජන හදවතට ඇමතූ රුවන්ට නිවන් සුව පතන අපි, ඔහුට ආදරය කළ සහෘද ශිල්පීන්ට ඔහු ගැන වචන අවදි කරන්නත් ඉඩකඩ විවර කළා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon