ශ්‍රී ලංකා-ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගය

  👤  1759 readers have read this article !
Published by : MB WEB 2017-11-28 09:58:05

පළමු ඉනිමේදී ඉන්දීය නායක විරාත් කෝලි ලබාගත් ලකුණු 213ට සමාන ලකුණු ප්‍රමාණයක් හෝ ලබාගැනීමට අසමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 166කට සීමා වීම හේතුවෙන් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ සිවුවැනි දිනයේදීම ඉනිමක හා ලකුණු 239ක අමිහිරි පරාජයක් අත්කරගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායමක් හමුවේ ඉන්දියානු කණ්ඩායමක් ලැබූ ඉහළම ජයග්‍රහණය බවටද මෙය පත්විය.

එහිදී ඉන්දියානු පළමු ඉනිමට වඩා ලකුණු 405ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 166ක් පමණි. පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද අර්ධ ශතක ලබාගැනීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සමත්වුවද දෙවැනි ඉනිමේදී චන්දිමාල්ට පසුව ඉහළම ලකුණු ප්‍රමාණය ලබාගත්තේ සුරංග ලක්මාල් පමණක් (නොදැවී 31) වීමද කැපී පෙනේ.

පෙරේදා දිනයේදී එක් කඩුල්ලකට ලකුණු 21ක්ව තිබූ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ඊයේ දිනයේදී පළමු කඩුල්ල ලෙස (ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දෙවැනි කඩුල්ල) දිමුත් කරුණාරත්න ලකුණු 18ක් ලබා සිටියදී ජදේජාගේ පන්දුවක් හමුවේ මුරලි විජේට උඩපන්දුවක් ලබා දී දැවී යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු දෙකකට ලකුණු 34ක් බවට පත්විය.

එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 14ක් එකතු වෙද්දී තිරිමාන්නද ලකුණු 23ක් ලබා සිටියදී උමේෂ් යාදව්ගේ පන්දුවක් හමුවේ ජදේජා අතට උඩපන්දුවක් ලබා දී දැවී යන විට වේලාසනින්ම පරාජයේ සේයාව ශ්‍රී ලංකාව දෙසට යොමු විණි. පළමු ඉනිමේදී ලකුණු 10ක් ලබා ජදේජාගේ පන්දුවක් හමුවේ දැවී ගිය මැතිව්ස් ඊයේ දිනයේදීද දෙවැනි ඉනිමද එම ලකුණු ප්‍රමාණයේදීම (10) නැවතත් ජදේජාටම ගොදුරුවීම විශේෂත්වයකි.

මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු එකින් එක අහිමි වෙමින් කඩුලු 8කට ලකුණු 107ක් ලෙස ලකුණු පුවරුව සටහන් වෙද්දී 9 වැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එකතු වූ සුරංග ලක්මාල් අපහසුවෙන් හෝ ලකුණු 160න් ඔබ්බට ශ්‍රී ලංකා ඉනිම රැගෙන ගියේය. කෙසේ වෙතත් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවක් එකතු වෙද්දී එතෙක් හොඳින් පන්දුවට පහර දුන් චන්දිමාල් මෙල්ල කිරීමට යාදව් සමත්වීමත් සමඟ පන්දු 82කට මුහුණදී හතරේ පහර 10ක් සහිතව ලකුණු 61ක් ලබා සිටි ශ්‍රී ලංකා නායකයාගේ ඉනිම නිමාවූ අතර, එය චන්දිමාල් ටෙස්ට් දිවියේ 15 වැනි අර්ධ ශතකය බවටද වාර්තා විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පිතිකරුවා ලෙස ළහිරු ගමගේ අෂ්වින්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී යනවිට ලොව වේගවත්ම 300 වැනි ටෙස්ට් කඩුල්ල ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට ඔහුට හැකිවිය. ඒ අනුව අෂ්වින් ටෙස්ට් තරග 54කදී මෙම කඩඉම පසුකළ අතර, මේ හේතුවෙන් මෙයට පෙර ටෙස්ට් තරග 56කදී කඩුලු 300ක් ලබාගත් ඕස්ට්‍රේලියාවේ ඩෙනිස් ලිලී විසින් තබා තිබූ වාර්තාව බිඳී ගියේය.

පළමු ඉනිමේදී ලකුණු 213ක් ලබාගත් ඉන්දීය නායක විරාත් කෝලි තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, දෙපිල අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය දෙසැම්බර් 2 වැනිදා දිල්ලිහිදී ආරම්භවීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon