දස වසරක් ගෙවාගෙන ආ නාද්රෝ ගහන අලුත්ම බෙර පදය

  👤  1163 readers have read this article !
Published by : MB WEB 2017-11-27 16:47:20

• මොකක්ද මේ 'නාද්රෝ' කරන්න යන්නේ?

මේක අපි නම් කරලා තියෙන්නේ 'ද බෙර ෆෙස්ට් ඇන්වසරි ඔෆ් නාද්රෝ' කියලා. අපේ දහවැනි සංවත්සරය වෙනුවෙන් තමයි අපි මේක කරන්නේ. මේ වෙනකොට නාද්රෝ පටන් අරන් අවුරුදු දහයක් වෙනවා. මේ අවුරුදු දහය පුරාවට අපි ලොකු ලොකු ව්‍යාපෘති කළා.

• වසර දහය පුරා ඒ කරපු ව්‍යාපෘති ගැනත් මතක් කරමුද?

2008 අවුරුද්දේ 'නාද්රෝ' ලයිව් ඉන් කොන්සර්ට් එක හරහා ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයට ලොකු වෙනසක් කළා. මුළු ලංකාවෙ තිබුණු පාසල්වල වැඩමුළු කරලා එයින් තෝරා ගත්ත ළමයි ගෙනත් 2012 අවුරුද්දේ නෙලුම් පොකුණ රඟහලේ විශාල සන්දර්ශනයක් කළා. විවිධ ක්‍ෂේත්‍රවල අයත් එක්ක ප්‍රසංග කළා. නිරන්තරයෙන්ම දේශීය වගේම විදේශීයවත් ප්‍රසංගවලට අපි සහභාගි වෙනවා.

ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව, දකුණු අප්‍රිකාව වගේ රටවල සංචාරය කරලා වාදන ඉදිරිපත් කරන්න, ඒ සංගීත සම්ප්‍රදායන් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ලෝකයේ ප්‍රසිද්ධ කලාකරුවෝ එක්ක ලෝකයේ තිබුණු ප්‍රධාන පෙළේ මියුසික් ෆෙස්ටිවල්වලට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. අවුරුදු දහයක් ගතවෙන මොහොතෙදී අපි හිතුවා පසුගිය අවුරුදු දහය ඇතුළත අපි දේශීය සහ විදේශීයව ලබා ගත්ත අත්දැකීම් ඔක්කොම එකට එකතු කරලා ලංකාවෙ ඇතුළේ ටිකක් වෙනස් විදියේ වැඩක් කරන්න.

• දසවැනි සැමරුමත් එක්ක කරන්න යන වෙනස ගැනත් කියමු?

ලංකාවේ පළමු වැනි වතාවට ලංකාව ඇතුළෙන්ම සංවිධානය කෙරෙන බෙර ප්‍රසංගයක් මේක. නොවැම්බර් 26 වැනිදා දවස පුරාම විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී තමයි පැවැත්වෙන්නේ. ලංකාව ඇතුළේ ප්‍රථම වතාවට තමයි මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගයක් සංවිධානය වෙන්නේ.

• එහි අංග සැලසුම් කර තිබෙන්නේ කොහොමද?

උදේ නවයේ ඉඳන් සවස හය වෙනකම් නොමිලේ පවත්වන වැඩසටහන් විශාල ප්‍රමාණයක් තියෙනවා. උදේ වරුවේ පාසල්වල බෙර කණ්ඩායම්වලට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදීලා තියෙනවා. මහරගම තරුණ සේවා සභාවේ කණ්ඩායම ඇතුළු විවිධ කණ්ඩායම් මෙයට සම්බන්ධ වෙනවා. සවස පහේ ඉඳන් ලංකාවේ ප්‍රධාන පෙළේ සංගීත කණ්ඩායම් කිහිපයක් වුණු මිස්ටි, ඩැඩී, වායෝ, මේරියන්ස් කියන කණ්ඩායම්වල ඩ්‍රම් වාදන ශිල්පීන්ගේ දක්‍ෂතා තනි තනිවම ඉදිරිපත් කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා.

ලංකාවේ පළමු වැනි වතාවට අපි ළඟ තියෙන විශාලම තාල වාදන භාණ්ඩ එදාට ප්‍රදර්ශනය කරනවා. දේශීය සහ විදේශීය ශිල්පීන් එකතු වෙලා උදේ නවයේ ඉඳන් සවස හය වෙනකම් හැම පැයකටම වැඩමුළුවක් තියෙනවා. අපි එතැන වෙනම ශබ්දාගාරයක් නිර්මාණය කරනවා. ඕනම කෙනෙක්ට බෙර වාදනය කරලා ඒක පටිගත කරගන්න වගේම ඒ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. බෙර එක්ක ෆොටෝ ගන්නත් අපි අවස්ථාව හදලා තියෙනවා. තව තැනක අපි 'ඩ්‍රම් සර්කල්' කියලා එකක් හදලා තියෙනවා. එතැනට මුළු පවුලටම වුණත් ඇවිත් බෙර ගහන්න පුළුවන්.

• සවස සුවිශේෂී ප්‍රසංගයක් පැවැත්වෙනවා නේද?

අවුරුදු දහයක් පුරාවට අපි ලබාගත්ත අත්දැකීම් හරහා අපි ඇසුරු කරපු පිරිස් එක්ක තමයි මේ ප්‍රසංගය සැලසුම් වෙන්නේ. නාද්රෝ කණ්ඩායමේ ඉදිරිපත් කිරීම් බලා ගන්න පුළුවන් වගේම තවත් විශාල පිරිසක් මේ වටා එකතු වෙනවා. විසි දෙනකුගෙන් සමන්විත මහේෂ් දෙණිපිටිය මහත්තයාගේ වාද්‍ය වෘන්දය එදාට වාදනය කරනවා.

මේ අවුරුදු දහය ඇතුළත ක්‍ෂේත්‍රයේ ඉන්න බොහෝ ශිල්පීන් එක්ක අපිට ළඟින් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ඔවුන් සමඟ බොහෝ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ අය අතරින් කිහිප දෙනෙක් මේ ප්‍රසංගයට අපිත් එක්ක එකතු වෙනවා. භාතිය, සන්තුෂ්, චිත්‍රාල් සෝමපාල, ළහිරු පෙරේරා, කසුන් කල්හාර, ඩැඩී අපි එක්ක එදාට ඉදිරිපත් කිරීම් කරනවා. එදාට මේ අය කියන සින්දුත් විශේෂයි. බෙර මූලික කරගෙන මේ පිරිස එක්ක අපි කරපු නිර්මාණ තමයි එදාට ඉදිරිපත් කෙරෙන්නේ.

• තවත් විශේෂ අය මෙයට සහභාගි වෙනවා කියලත් ආරංචියි?

ලෝකයේ ඉන්න හොඳම බෙර වාදකයෝ දෙන්නෙක් මේ ප්‍රසංගයට සම්බන්ධ වෙනවා. එක්කෙනෙක් ඇමෙරිකාවේ ජියෙවානි හිඩෙල්ගෝ. අනෙක් කෙනා එංගලන්තයේ පීට් ලොකෙට්, ඉන්දියාවේ රාජස්ථාන්වල ඉඳන් ගුඩ්ලා ඛාන් සහ තවත් ජන සංගීත ශිල්පීන් දෙන්නෙක් එදාට එනවා. ඊට අමතරව ලංකාවේ බෙර ක්‍ෂේත්‍රයට සම්බන්ධ ජනනාත් වරකාගොඩ, එලිෆන්ට් ෆුට් කණ්ඩායම, ප්‍රසන්න රූපතිලක, පේෂල මනෝජ්, උපුල මධුෂංක, අරුණ සිරිවර්ධන වගේ ශිල්පීන් බොහෝ දෙනෙක් මේකට සම්බන්ධ වෙනවා.

• ගෙවුණු අවුරුදු දහය දිහා ආපසු හැරිලා බැලුවොත් මොනවද කියන්න තියෙන්නේ?

මට ගොඩක් ලොකු ශක්තියක් වුණේ කණ්ඩායමේ අනෙක් අය. විශේෂයෙන්ම කියන්න ඕනේ රංග නුවන්ත, දයාන් මනුකුමාර, සභූපති නිලම්බර, චතුරංග විනුජිත්, නුවන් ලියනගේ, ළහිරු ෆර්නෑන්ඩු මේ කට්ටිය මාත් එක්ක බොහෝ නිර්මාණවලදී සහයෝගයෙන් වැඩ කරනවා. බෑන්ඩ් එකක් අවුරුදු දහයක් පවත්වාගෙන යනවා කියන්නේ හරි අමාරු වැඩක්. අපි එකිනෙකා කෙරෙහි අවබෝධයෙන් කටයුතු කරන නිසා පහසුවක් වුණා මේ දේ කරගෙන යන්න.

• නාද්රෝට අභියෝග කරන්න කවුරුත් නැද්ද?

මම නම් නාද්රෝට අභියෝගයක් විදියට දකින්නේ නැහැ කවුරුත්ම. අපි 2007දී පටන් ගනිද්දී තාල වාද්‍ය කණ්ඩායමක් බිහිවෙලා තිබුණේ නැහැ මේ විදියට.

නමුත් මම මතක් කරන්න ඕනේ අපිට කලින් රවිබන්දු විද්‍යාපති සර්, ජනනාත් වරකාගොඩ, එළිෆන්ට් ෆුට් කණ්ඩායම මේ ක්‍ෂේත්‍රයේ හිටියා. එයාලා කළේ වෙනමම විදිහේ දෙයක්. රවිබන්දු සර්, ජනනාත් අයියා දේශීය බෙරවලින් නිර්මාණ කළේ.

එළිෆන්ට් ෆුට් කණ්ඩායම වෙනස් විදියේ දෙයක්. නමුත් අපි රංග වින්‍යාසත් එක්ක බෙර වාදනය එකතු කරලා වෙනස් විදියේ දෙයක් තමයි අවුරුදු දහයකට කලින් ආරම්භ කළේ. නමුත් අද වෙද්දී එක හා සමාන කණ්ඩායම් ගොඩක් බිහිවෙලා තියෙනවා. මම හිතන්නේ ඒක හොදයි. මේ ක්‍ෂේත්‍රය ගොඩනැඟෙන්න ඒක හොඳ දෙයක්. නමුත් අපිට නම් අභියෝගයක් වෙලා නැහැ තාම.

සවනි ශේශාධි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon