ඒකාබද්ධය අගමැතිකම හෝ විපක්ෂ නායකකම ඉල්ලයි

  👤  2145 readers have read this article !
Published by : MB WEB 2017-11-23 10:08:05

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී අග්‍රාමාත්‍ය ධුරය හෝ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගත් බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයෙක් 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

50ට 50 අපේක්ෂකයන් යොදාගෙන නාම යෝජනා සකස් කිරීම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලිඛිතව ඉදිරිපත් කර තිබෙන කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

වත්මන් ජාතික ආණ්ඩුවේ කොටස්කාරයන් ලෙස එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කරන තුරු කිසිදු කරුණක් පදනම් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා නොකිරීමටද මෙහිදී තීරණය කළ බව එම ජේ‍යෂ්ඨ සාමාජිකයා පැවැසීය.

රටේ පොදු මහජනතාව තුළ වත්මන් ආණ්ඩුව ගැන දැඩි කලකිරීමක් තිබෙන නිසා ආණ්ඩුවේ කොටස්කාරයන් වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කිරීම ඵලක් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය වූ බවද එම ජේ‍යෂ්ඨ නියෝජිතයා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවේදී ගත් තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දීම සඳහා සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් යුත් කමිටුවක්ද පත් කළ බව එම ජේ‍යෂ්ඨ සාමාජිකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon