ලංකාව තවත් පරාජයකින් නූලෙන් බේරෙයි

  👤  1723 readers have read this article !
Published by : MB WEB 2017-11-21 11:01:38

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ කොල්කටා හිදී පැවැති පළමු තරගය ඊයේ ජය පැරදුමෙන් තොරව අවසන් විය.

තරගයේ අවසන් දිනයේදී දිවා ආහාර විවේකයෙන් පසුව ජයග්‍රහණය සඳහා ලකුණු 231ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 7කට ලකුණු 75ක් ලබා සිටියේය.

ඉන්දියාව ලබා දුන් ලකුණු 231ක ඉලක්කය අපහසු බවට ඉඟි කරමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස සධීර සමරවික්‍රම ලකුණු නොලබාත්, කරුණාරත්න එක් ලකුණකටත් දැවී ගියේ පීඩනය පසුපෙළට භාර කරමිනි. ජයග්‍රහණය කිරීම කෙසේ වුවත් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමේ අභිප්‍රායද සුනු විසුනු කරමින් ළහිරු තිරිමාන්න ලකුණු 7කට බුවනේෂ්වර් කුමාර් හමුවේත්, ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 12කට උමේෂ් යාදව් හමුවේත් දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 22ක් විය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නායක චන්දිමාල්ට එක්වූ දික්වැල්ල වේගවත් ඉනිමක නිරත වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට එසවීමට සමත් වුවද, එතෙක් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි චන්දිමාල් ලකුණු 20ක් ලබා සිටියදී සාමිගේ පන්දුවක් හමුවේ දැවී යන විට 47ක් වූ පස්වැනි කඩුල්ලේ සබඳතාවයද නිමාවට පත්විය.

තරගය කෙසේ හෝ ජයගැනීමේ අභිප්‍රාය මත සිටි ඉන්දීය කණ්ඩායම දික්වැල්ල සමඟින් යම් සිදුවීම් සමුදායකට අර අඳින තත්ත්වයකට පත්වෙද්දී එම ලකුණු ප්‍රමාණයේදීම (ලකුණු 69දී) හයේ පහර දෙකක් හා හතරේ පහර දෙකක් සමඟින් වේගවත් ලකුණු 27ක් ලබා සිටි දික්වැල්ලද කුමාර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන විට පරාජයේ සේයාව ශ්‍රී ලංකාව දෙසට යොමු වී තිබිණි.

දික්වැල්ලගේ දැවීයාමෙන් අනතුරුව දිල්රුවන් පෙරේරාට එකතු වූ දසුන් ශානක තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට දැඩි වෙහෙසක් දැරුවද දිල්රුවන්ද කුමාර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ එම අපේක්‍ෂාවද ප්‍රශ්නාර්ථයක් කරමිනි. කෙසේ වෙතත් ශානකට එක්වූ හේරත් අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට තම කඩුලු ආරක්‍ෂා කරගෙන සිටි අතර, ශ්‍රී ලංකා ඉනිම විනාශ කළ බුවනේෂ්වර් කුමාර් ලකුණු 8කට කඩුලු 4ක් හා මොහොමඩ් සාමි ලකුණු 34කට කඩුලු 2ක් දවාගත්තේය.
තරගයේ වීරයා ලෙස බුවනේෂ්වර් කුමාර් සම්මාන දිනාගත්තේය.

පෙරේදා දිනයේදී එක් කඩුල්ලකට ලකුණු 171ක්ව තිබූ ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ලෝකේෂ් රාහුල් ලකුණු 79කට ලක්මාල්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 192ක් ලෙස පත්වූ අතර, එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 21ක් එකතු වෙද්දී පුජාරාද ලකුණු 22කට දවා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට යම් තර්ජනයක් එල්ල කළේය. එය තවත් තීව්‍ර කරමින් රහනේ ලකුණු නොලබා ලක්මාල්ට ගොදුරු වෙද්දී රවීන්ද්‍ර ජඩේජාට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට දිල්රුවන් පෙරේරා ඉඩ ලබා දුන්නේ නැත.

ඒ අනුව ජඩේජා ලකුණු 9කටත්, අෂ්වින් ලකුණු 7කටත්, සහා ලකුණු 5කට හා බුවනේෂ්වර් කුමාර් ලකුණු 8කටත් දැවී යද්දී එක් අන්තයක් ආරක්‍ෂා කරගත් ඉන්දීය නායක විරාත් කෝලි නොදැවී ලකුණු 104ක් ලබාගත්තේය. එය ඔහුගේ 50 වැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකය වූ අතර, අඩු ඉනිම ගණනකින් ශතක 50 සම්පූර්ණ කළ ලොව 8වැනි මෙන්ම ඉන්දියාවේ දෙවැනි පිතිකරුවා බවටද කෝලි පත්විය.

මේ අතර ඊයේ අවසන් වූ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳී ගිය කඩුලු 17ම ඉන්දීය වේග පන්දු යවන්නන් අතර බෙදී ගොස් තිබූ අතර, ඉන්දියාවේදී ඉන්දීය දඟ පන්දු යවන්නන්ට කිසිදු කඩුල්ලක් හිමි නොවූ පළමු තරගය ලෙසද මෙම තරගය ඉතිහාසගත විය.

තරගය අවසානයේදී අදහස් දැක්වූ චන්දිමාල් කියා සිටියේ මෙවන් තත්ත්වයක් යටතේ කාසියේ වාසිය දිනාගැනීම තීරණාත්මක සාධකයක් බවයි. කෙසේ වෙතත් තරගයේ අවසන් සමය තෙක් තම කණ්ඩායම ඉන්දියාවට සටනක් ලබාදුන් බවද පැවැසූ චන්දිමාල් "අපි කණ්ඩායමක් විදියට හොඳින් ක්‍රීඩා කළා ඒත් අවාසනාවට අවසන් පන්දුවාර 10-15දී අපිට අවාසි සහගත වුණා. ඒ නිසාම අපිට පීඩනයක් ගෙන දුන්නත් අපි හොඳ තරගයක් දුන් බව කිව යුතුයි.

එහිදී ලක්මාල් ගැන කිව යුතුමයි. ඔහු අපිට හිතාගන්න බැරි විදියේ දක්‍ෂතා පෙන්නුවා. අවාසනාවකට අපේ දඟ පන්දු යවන්නන්ට තරගයට අවතීර්ණ වෙන්න බැරි වුණත් රංගන පළමු ඉනිමේ පිතිකරුවෙක් විදියට හොඳ සටනක් දුන්නා" යනුවෙන්ද කීය. ඊයේ තරගය අවසානයේ අදහස් දැක්වූ ඉන්දීය නායක කෝලි " අපි පළමු දින දෙකේ තරමක් පසු පසට ගියා. එහි ගෞරවය ශ්‍රී ලංකාවට යන්න ඕන. ඔවුන් මෙම තරගයේදී හොඳින් ක්‍රීඩා කළා. නමුත් අපි අපේ ශක්තිය ගැන විශ්වාසය තියලා ක්‍රීඩා කළා. කෙසේ වෙතත් තරගය අවසන් කළ ආකාරය ගැන අපි ආඩම්බර වෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon