විශ්ව වෙනස් කළේ කවුද?

  👤  2110 readers have read this article !
Published by : MB WEB 2017-11-15 16:12:47

'කාල' නිසා කාලෙකට පස්සේ සිනමා තිරයේ ඔබ වෙනස්ම විදියකට දකින්න ලැබෙනවා?

ඔව්. 'කාල' කියන්නේ 2014දී කළ චිත්‍රපටයක්. සුජීව ගුණරත්න මහත්මයා තමයි මට මේ චිත්‍රපටයට ආරාධනා කළේ. මම නිරූපණය කරන්නේ උත්තිය කුමාරයාගේ චරිතය. මම බොහොම කැමැත්තෙන් ඒ ආරාධනාව භාර ගත්තා. එය අභියෝගාත්මක චරිතයක් නිසා මම මගේ ගුරුවරයා වුණු මහේන්ද්‍ර පෙරේරා සර් ගාවටත් ගිහින් පිටපත කියවලා යම් හැදෑරීමක් කරලා තමයි චරිතයට අනුගත වුණේ.

චරිතය වෙනුවෙන් උනන්දු වුණු හැඩයි?

ඇත්තටම මම මේ චරිතය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ චරිතය වෙනුවෙන්ම රැවුල වැවුවා. මාස තුනක් විතර මම වෙනත් වැඩ භාර ගත්තෙත් නෑ. අනුරාධපුරය, පොළොන්නරුව ප්‍රදේශවල තමයි අපි රූගත කිරීම් කළේ. මම උපරිම ඒ චරිතය වෙනුවෙන් කැප වුණා.

විශ්ව බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නේ එකම රාමුවක චරිතවලින්නේ හැබැයි 'කාල' නිමැවුමේ අධ්‍යක්ෂවරයා ඔබව වෙනස් කරන්න අභියෝගයක් අරගත්තා නේද?

මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. සමහරු හිතුවේ විශ්ව කොඩිකාරව වෙනස් කරන්න බෑ කියලා. මල් චරිතමයි කරන්නේ ඒ නාට්‍යවල විතරයි ඉන්නේ කියල සමහරු හිතුවේ. ඒ දෙයට අභියෝග කරලා මට ඒ වගේ චරිතයක් දුන්නා. ඒක ගැන මම ඔහුට පින් දෙනවා.

ඒ කියන්නේ වෙනස් වෙන්න කැමැති ඔබට වෙනස් වෙන්න ඉඩ දුන්නේ නැත්තේ අධ්‍යක්ෂවරුද?

මෙහෙමයි. මම වෙනස් වෙනස් නිර්මාණ කරන්න කැමැතියි. මම මහේන්ද්‍ර පෙරේරා මහත්මයා යටතේ අවුරුදු තුනක් ඉගෙනගෙන තියෙනවා. මට එහෙම එක රාමුවකට කොටුවෙලා ඉන්න අවශ්‍යතාවක් නෑ. මම විතරක් නෙවෙයි ලංකාවේ වෙනස් චරිත කරන්න පුළුවන් නළු නිළියෝ ඉන්නවා. ඒ අයගෙන් හරියටම ප්‍රයෝජන ගත යුතුයි. දක්ෂයෝ ඉද්දි පිටරටවලින් ශිල්පීන් ගේන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ.

විශ්වගේ වෙනසට වෙනස් ප්‍රතිචාරත් ලැබෙනවා ඇති?

අවංකවම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහරු මට කිව්වා ඔයා මේ වගේ චරිතයක් කරයි කියලා හිතන්නවත් බෑ කියලා. අධ්‍යක්ෂවරයෙක්ට මාව අවශ්‍ය නම් මම ඒ චරිතය කරනවා.

එතකොට විශ්වට වාරණ දාගන්නේ නැතිව ඕනම චරිතයක් කරන්න පුළුවන්ද?

මට හැම චරිතයක්ම අභියෝගයක් කරගෙන කරන්න පුළුවන්. හැබැයි මම කරන්නේ පවුලේ සියලු දෙනාට එකට ඉඳන් බලන්න පුළුවන් දේවල් විතරයි.

පසුගිය වසරේදී නාට්‍ය කිහිපයක ඉඳලත් ඔබට ජනප්‍රිය නළු සම්මානය ලබා ගන්න නොහැකි වෙනවා. එහෙම වුණේ අලුත් අලුත් අය එද්දි විශ්වගේ ජනප්‍රියත්වය අඩුවෙලාද?නැත්නම් SMS තරගයට විශ්ව බැහැලා වැඩ කළේ නැති නිසාද?

මට 2013, 2015 වර්ෂවලදී සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළු සම්මානය ලැබුණා. මම ඒ සම්මාන ගත්තේ මට ඉර්ඉ දාගෙනවත් මට ඉර්ඉ දාන්නවත් කියලා නෙවෙයි. මගේ තාත්තා මට කියලා තියෙන්නේ එක එක දේවල් කරලා සම්මාන ගන්න එපා. ගෙදර ගේන සම්මානය ආඩම්බරයෙන් තියාගන්න පුළුවන් සම්මානයක් කරගන්න කියලා. ඉතිං මට තාමත් ජනතාවගේ ආදරය කොහේ ගියත් ලැබෙනවා.

සම්මාන උළෙල ගැන විශ්වට විවේචන නැද්ද?

සම්මාන උළෙලවල් වල වරදක් නෑ. පොඩි පොඩි අඩුපාඩු ඇති. මම අනිවාර්යයෙන්ම කොළඹින් පිට ගියේ නැත්නම් සම්මාන උළෙලවලට සහභාගි වෙනවා. ඒ සම්මාන ගන්න අයට අත්පුඩි ගහලා සතුටු වෙන්න. සම්මාන නොලැබෙනවට මට දුකක් නැහැ. ලැබෙන කාලේ ලැබිය යුතු දේවල් ලැබෙයි. මට කොහේ ගියත් ජනතාවගේ සම්මානය ලැබෙනවා.

සමහරු ප්‍රේක්ෂක ආදරය කරදරයක් විදියට දකිනවා. විශ්වට ජනප්‍රියත්වය, ප්‍රේක්ෂක ආදරය කරදරයක් විදියට දැනිලා නැද්ද?

නැහැ. ප්‍රේක්‍ෂක ආදරය ලබන්න හැමෝටම වාසනාව නැහැ. ප්‍රේක්ෂක ආදරය වාසනාවක්. ඒක මට කවදාවත් වධයක් වුණේ නැහැ. මම ඕනෑ කෙනෙක් එක්ක හිනාවෙනවා. කතා කරනවා. දවසක් මට ඇහුණා කෙනෙක් කියනවා "පිස්සුද බං හැමෝටම හිනාවෙවී යන්නේ" කියලා. මගේ එහෙම ලොකුකම් නැහැ.

විශ්ව විවිධ රංගන ශිල්පිනියන් එක්ක රඟපානවා. බිරිය කවදාවත් විශ්ව රඟපෑ යුතු රංගන ශිල්පිනියන් තෝරලා දෙන්නේ නැද්ද?

මගේ බිරිය කවදාවත් මගේ රංගන කටයුතුවලට අතගහන්න ඇවිත් නැහැ. අර නිළිය එක්ක රඟපාන්න, මේ නිළිය එක්ක රඟපාන්න එපා වගේ දේවල් එයා කියන්නේ නැහැ. එයා මගේ අඩුපාඩු විතරයි කියන්නේ.

විවාහක වුණත් කෙනෙක්ට තව කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන්. විශ්වට කවදාවත් එහෙම වෙන කෙනෙක්ගෙ ආදරයක් ඕනෑ වෙලා තියෙනවද?

එහෙම ආදර සම්බන්ධකම් ඇතිවෙන්න පුළුවන්. හැබැයි මට එහෙම ආදර සම්බන්ධයක් ඇතිවෙන්න මම කිසිම අවස්ථාවක තනිවෙලා නැහැ. මගේ බිරිය මම කොහේ හිටියත් මට කතා කරලා මං ගැන හොයලා බලනවා. අපිට චුට්ටක් රණ්ඩු වුණත් අවුල්. මට වෙන කෙනෙක්ට ළං වෙන්න බැරි මගේ හිත තනි වෙලා නැති නිසා.

විශ්ව දැන් දුවෙක්ගෙයි පුතෙක්ගෙයි තාත්තා කෙනෙක්නේ. විශ්ව තෝරා ගත්තා වගේ දුවයි පුතයි අනාගතයේ ඉදිරියට යන්න කලාව තෝරාගන්නවට විශ්ව කැමැතිද?

දුවයි පුතයි කලාව තෝරා ගන්නවාට මගේ අකැමැත්තක් නැහැ. මගේ තාත්තා මට නිදහස දුන්නා මට අවශ්‍ය දේ තෝරාගන්න. මම කලාව තෝරා ගත්තා. මගේ දරුවොත් එයාලා කැමැති දේ තෝරා ගන්නවට මම කැමැතියි.

මේ දවස්වල කෙරෙන සහ ඉදිරියේදී කරන්න සැලසුම් කරගත්ත වැඩත් මතක් කරමු?

'පැහැසරා' ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරන්න තියෙනවා ඉදිරියේදීත්. චමික පෙරේරා අධ්‍යක්ෂණය කරන සිහිනයට මම ආදරෙයි නාට්‍යයේ භාගයක් රූගත කිරීම් කළා. මහේන්ද්‍ර කුලසිංහගේ 'ආදරවන්තියේ' නාට්‍ය දැන් විකාශය වෙනවා. චමික පෙරේරා අධ්‍යක්ෂණය කරන තවත් නාට්‍යයකට ආරාධනා කළා. ඒකේ මම කරන්නෙ ලෝයර් කෙනෙක්ගේ චරිතයක්. ඒ චරිතය වෙනස් චරිතයක්. මම කැමැත්තෙන්ම ඒ චරිතය භාරගත්තා. තවත් චිත්‍රපටයකටත් ඉදිරියේදී සම්බන්ධ වෙන්න ඉන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon