ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව වසර 4කින් කැඳවා නැහැ

  👤  1173 readers have read this article !
Published by : MB WEB 2017-11-15 13:17:53

සිරිනාම රාජපක්‍ෂ

වසර 9ක් පමණ පැවැති වත්මන් ජාතික ඔලිම්පික් කමිටු පරිපාලන තන්ත්‍රයේ වෙනසක් සිදුකිරීමට මඟ පාදමින් වාර්ෂික මහා සභා රැස්වීමක් පැවැත්වීමට ලබන 2018 වසරේ ජනවාරි 9දාට දින නියම කරගෙන ඇති අතර, ඒ මඟින් ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්.ඕ.සී.) වත්මන් ඒකාධිපති පාලනය වෙනස් කිරීමට මෙරට ක්‍රීඩා පරිපාලන සංගම් බහුතරයක් පෙළගැසෙමින් සිටින බවට "මව්බිම"ට වාර්තා වේ.

ඒ අනුව නිලවරණයක් පවත්වා ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලනයට නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමේ අවස්ථාවද උදාවන අතර, වාර්ෂික මහා සභා රැස්වීමක් පවත්වා නිලවරණයකින් අවසන් වරට පාලකයන් පත්කරගෙන ඇත්තේ 2009 වසරේ ජූලි 30දාය. එතැන් පටන් එන්.ඕ.සී. යේ සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතාත්, ප්‍රධාන ලේකම් ලෙස මැක්ස්වෙල් ද සිල්වා මහතාත් බලයේ රැඳී සිටින අතර, 2013 වසරේදී එන්.ඕ.සී. විධායක සභා රැස්වීමක් කැඳවා වාර්ෂික නිලවරණයක් පවත්වන්නට සැලසුම් කළද එම නිලවරණය අහෝසි කරන්නට කටයුතු යෙදුණි.

ඉන් අනතුරුව වත්මන් එන්.ඕ.සී. පාලකයන් සහ එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශ නියෝජිතයන් යන දෙපාර්ශ්වය ස්විට්සර්ලන්තයේ ලුසේන් නුවරට ගෙන්වා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (අයි.ඕ.සී.) මැදිහත් වීමෙන් එකඟතාවන් රැසකට අදාළව ගිවිසුම් ගත වුවද එම එකඟතාවන් දිගින් දිගටම වත්මන් එන්.ඕ.සී. පාලකයන් විසින් උල්ලංඝනය කරන ලද බැවින් මෙරට ඔලිම්පික් ක්‍රීඩා නියෝජනය කරන සංගම් 14ක් එක්වී එන්.ඕ.සී. යට එරෙහිව 2017 ඔක්තෝබර් 2 දාතමින් සහ 2017 ඔක්තෝබර් 26 දාතමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට කරන ලද ලිඛිත දැනුම්දීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙසේ නිලවරණයක් කරා යෑමට අවකාශය ලැබී ඇත.

එසේ සංගම් 14ක නියෝජිතයන් වෙනුවෙන් සංගම් 3ක සභාපතිවරුන්ගේ අස්සනින් 2017 ඔක්තෝබර් 26දා අයි.ඕ.සී.ය වෙත යවා ඇති ලිපියෙන් පෙන්වා දුන් අක්‍රමිකතාවන් අතර ප්‍රධාන කරුණක් වූයේ 2013 නොවැම්බර් 27දා ලුසේන් නුවරදී එකඟ වූ පරිදි එන්.ඕ.සී. තීරණ ගැනීමේදී පාලක නිලධාරී මණ්ඩලය කැඳවා තීරණ ගත යුතු වුවද එන්.ඕ.සී. සභාපති හා ලේකම්වරයා එසේ කටයුතු නොකළ බවයි. අවම වශයෙන් විධායක සභාව හෝ කැඳවීමක් නොකළ බවද එකී සංගම් නියෝජිතයෝ පෙන්වා දී තිබිණි. එනම් ඒ අනුව බැලූ විට වත්මන් එන්.ඕ.සී. පාලකයෝ 2013 නොවැම්බර් 19දායින් පසුව එකම විධායක කමිටු රැස්වීමක්වත් පවත්වා නැත.

කෙසේ වෙතත් දැනගන්නට ඇති පරිදි ගෙවී ගිය මෑත කාලය තුළ කළමනාකරණ කමිටුව යනුවෙන් ඔවුන්ට හිතෛෂී කණ්ඩායම් කැඳවා කමිටුවක් අටවා ගත්තද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) නොමඟ යවන්නට කළ එම උත්සාහයද අසාර්ථක වූයේ එකී කමිටුවේම සමහර නිලධාරීන් ඊට එරෙහිව පොල්ල අතට ගත් නිසාය. එනම් 2012 වර්ෂයෙන් පසුව වසර 6ක්ම වාර්ෂික ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්නට අසමත් වීම නිසා එන්.ඕ.සී.ය අභ්‍යන්තරයෙන්ම සභාපතිවරයාට හා ලේකම්වරයාට විරුද්ධව චෝදනා එල්ල විය. ඔවුන් එසේ වාර්ෂික විගණන ගිණුම් වාර්තා සාමාජිකත්වයට සැපයීමට අපොහොසත් වී තිබියදී වාර්ෂික විගණන ගිණුම් වාර්තා ඉදිරිපත් නොකළ සමහර සංගම් වෙත මවු සංගමය ලෙස ඔවුන් විසින් ඇඟිල්ල දිගු කිරීමද හාස්‍යයට ලක්විය. ක්‍රීඩා අමාත්‍යවරයාද ඒ සම්බන්ධව මෑතකදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් (එන්.ඕ.සී.ය) ඇදේට යන ගමන් අනුන්ට කෙළින් යන්නට උපදෙස් දීම විහිළුවක් බවයි.

ඒ අනුව බලන විට ගෙවී ගිය වසර 6ක් පුරා වාර්ෂික ගිණුම් වාර්තා නොපෙන්වමින් පසුගිය වසර 5ක කාලයක් තම පරිපාලනයේ විධායක සභාව රැස් නොකරමින් ගෙනයන මෙම ඒකාධිපති පාලනය වෙනස් කිරීමට කාගේත් අවධානය යොමු වී ඇති අතර, ඒ සඳහා ලබන ජනවාරි 9දා පැවැත්වෙන නිලවරණයේදී වත්මන් සභාපතිවරයාට සහ ලේකම්වරයාට නියත පරාජයක් හිමිවන ලකුණු පහළ වී ඇත. ඒ බව පසුගිය බ්‍රහස්පතින්දා (9දා) පැවැති ජාතික ඔලිම්පික් කමිටු මහා සභා රැස්වීමේදී වත්මන් පාලකයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා බහුතරයක් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන්ම පැහැදිලි විය.

කෙසේ වෙතත් එන්.ඕ.සී. යේ මීළඟ විධායක කමිටු රැස්වීම මේ මස 25දාට පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇති අතර, වසර 4කට පසුව පැවැත්වෙන පළමු විධායක කමිටු රැස්වීම ලෙසද එය ලෝක ඔලිම්පික් ඉතිහාසයට එක්වනු ඇත. තවද මීළඟ නිලවරණයට ඡන්ද ලබා ගැනීමේ අරමුණෙන් වත්මන් සභාපතිවරයා හා ලේකම්වරයා විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බව දැනගන්නට ඇති අතර, ඔවුන් දෙදෙනාගේම අතිශය හිතවාදියකු වූ උප සභාපතිවරයකු වන දේව හෙන්රි මහතා කැපිල්ලකට ලක්කර ඇත.

එයට හේතුව හේමසිරි-මැක්සි හවුලෙන් ගැලවී මීළඟ නිලවරණයේදී විරුද්ධ පාර්ශ්වයට උදවු කිරීමට දේව හෙන්රි තීරණය කිරීම නිසාය. ඒ නිසා දේව හෙන්රිගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා වින්ටර් ස්පෝර්ට්ස් ක්‍රීඩා සංගමය එන්.ඕ.සී. සාමාජිකත්වය සඳහා පිළිනොගන්නා බවද ලේකම් සිල්වා මහතා දැන් ප්‍රකාශ කරයි.

එහෙත් එම සංගමයේ ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය සඳහා එන්.ඕ.සී. ය විසින් රුපියල් මිලියනයක මුදලක් 2016 දී ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාගෙන ඇති බවද වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්