පෙව් කිරි කඳුළට වන්දි ගෙවන්නට මේ සතියේ ලංකාවට එන අයර්ලන්තයේ අපේ ෂෙරී

  👤  1391 readers have read this article !
Published by : MB WEB 2017-11-14 17:02:36

"මා කවරෙක්දැයි සොයා දැනගත් විට මම නිදහස් වෙමි"යි රැල්ෆ් එලිසන් වරක් ප්‍රකාශ කෙළේය. සංස්කෘතිය යනු කෙනකුගේ අනන්‍යතාව නිශ්චය කරන සාධකයකි. එහෙත් කෙනකු ඇලෙන බැඳෙන මිනිස් සමූහයන්ගේ සංස්කෘතිය අනුවද කෙනකුගේ සංස්කෘතිය ඊට අනුවර්තනය වන අවස්ථාද බොහෝ විට දක්නට ලැබේ. කෙනකුගේ සංස්කෘතිය ඔහුගේ උප්පත්තියේ පටන් ජීවිත කාලය පුරාම සමාජය, මාධ්‍ය, සමාජ සම්බන්ධතා සහ අන්තර් ක්‍රියාකාරකම් සාධක කොට ගනිමින් වර්ධනය වන්නාක් මෙන්ම වෙනස්කම්වලටද භාජන වන්නකි.

විසිහය හැවිරිදි ෂෙරී ඇචීසන්ද 1991දී ශ්‍රී ලංකාවෙහි ජන්ම ලාභය ලබා දින පහළොවක් ගත වෙද්දී මහා බි්‍රතාන්‍යයේ අයර්ලන්ත ජාතික යුවළකගේ භාරයට පත්වීම නිසා සංස්කෘතික වශයෙන් විශාල වෙනසක් ඇති පරිසරයක හැදී වැඩුණු තැනැත්තියකි. ඇය මෙලොවට බිහි කළ ශ්‍රී ලංකා මව ඇයට තැබූ නම නිරෝෂිකාය. 2017දී ඇය එක්සත් රාජධානියේ තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රබලතම කාන්තාව වශයෙන් ලේඛනගත වූයේද උප්පත්තියෙන් සති දෙකක් ඇතුළත ඇයගේ ජීවිතය සහමුලින්ම වෙනස් සංස්කෘතියකට ඇතුළත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනැයි කිව හැකිය. එමෙන්ම අයිරිෂ් යුවළ යටතේ ඇය ඉතා සුඛෝපභෝගීව හැදී වැඩෙන්නට වාසනාවන්තද වූ හෙයිනි.

තමා අයර්ලන්ත යුවළක් විසින් හදාවඩා ගන්නා ලද බව කෙසේ හෝ ඇයට දැන ගන්නට ලැබී තිබුණු නමුත් වැඩිහිටි කාන්තාවක් වශයෙන් ඇය කවදාවත් ශ්‍රී ලංකාවට පැමිණ නැත.

එහෙයින් 2017 ජුනියේදී ෂෙරී ඇගේ මධුසමය සඳහා සැමියාද සමඟ යෑමට යෝග්‍ය තැනක් ගැන සලකා බලමින් සිටියදී ඒ සඳහා ශ්‍රී ලංකාවට යෑමට ෂෙරී ක්‍ෂණිකව තීරණය කළාය. ඒ තීරණයට පදනම් වූ කරුණු දෙකක් ඇතැයි සඳහන් කරන ෂෙරී ඉන් එකක් ඇය එතෙක් කවදාවත් ශ්‍රී ලංකාවට පැමිණ නොතිබීම බවත් අනෙක රටේ විචිත්‍රත්වය දැක ගැනීම හා එහි විශිෂ්ට ආහාරපානවල රස බැලීම බවත් ප්‍රකාශ කළාය. එහෙත් මේ සංචාරය ඇය මෙලොවට බිහි කළ මව දැක ගැනීමේ අභිලාෂය විසින් මෙහෙයවන ලද්දකැයිද ඇය තුළ යම් උපකල්පනයක් තිබෙන්නට ඇත.

එසේ මධුසමය ගත කිරීමට පැමිණි මේ නව යුවළ ෂෙරී හා සැමියා හබරණ, නුවරඑළිය, මීගමුව හා මහනුවර යන ප්‍රදේශවලද සංචාරයෙහි යෙදුණාහ.

මගේ උපන් ස්ථානය වශයෙන් උප්පැන්න සහතිකයෙහි සඳහන් වී තිබෙන්නේ මහනුවර නොවේද? යන ක්‍ෂණික සිතිවිල්ල ෂෙරීනා තුළ පහළ වූයේ ඒ ප්‍රදේශයේ සිරි නරඹමින් සිටියදීය. උපන් බිමට යළි පැමිණ සිටීම ඇගේ ඉමහත් චිත්ත ප්‍රමෝදයට හේතුවක් වූ අතරම සිය මව තවමත් ජීවතුන් අතර සිටින්නේදැයි සොයා බැලීමේ ක්‍ෂණික ආශාවක් ෂෙරීගේ සිත තුළ දැල්විණි. මහනුවර නගරයේ වීථි දිගේ ඇවිදගෙන යද්දී සිය මව හදිසියේ හමුවනු ඇතැයි යන සිතිවිල්ලක්ද ෂෙරී තුළ පහළ වූ නමුදු එය හුදු සිතිවිල්ලක් පමණක්ම විනා යාථාර්ථයක් බවට පත් නොවූයේය.

එහෙයින් ඇය වහාම "නිව්ස් ෆස්ට්" වෙබ් අඩවියට පිවිස මව සෙවීම ආරම්භ කළාය. සිය මව සොයා ගැනීමේ දැඩි අභිලාෂය පදනම් කොටගෙන ෂෙරී තුළ හටගත් ප්‍රබල හැඟීම එවැනි අවස්ථාවකට මුහුණ දෙන අප කවරකු තුළ වුවද ස්වාභාවික වශයෙන්ම දෝංකාර දෙන්නකි. කෙනකු උපන්නේ කොතැනකද? පැමිණියේ කුමන තැනකද? දැනට සිටින්නේ කෙබඳු තැනකද? යනාදී බාහිර සාධක මත එම හැඟීමෙහි වෙනසක් සිදු නොවේ.

1991දී ෂෙරී හදාවඩා ගැනීම සඳහා විදේශීය යුවළකට භාර දෙන ලද අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයෙහි සිටි කාන්තාව තමාගේ මව විය හැකි යැයි ෂෙරී විශ්වාස කළ හෙයන් "නිව්ස් ෆස්ට්" ඔස්සේ සෝදිසියක් ආරම්භ විය. එම ඡායාරූපය අන්තර්ජාලයෙහි පළ කෙරුණු අතර ඡායාරූපයෙහි සිටින කාන්තාවගේ පෙනුමට බොහෝ සෙයින් සමාන කාන්තාවක් මාතලේ ප්‍රදේශයෙහි සිටින බව දන්වා දුරකතන ඇමතුමක් දීමෙන් ෂෙරීට උදවු කිරීමට කෙනකුට හැකි විය. ඒ අනුව ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක් පැවැත්විණි. ඩිංගිරි අම්මා නමැති කාන්තාව ෂෙරීගේ මව බව එයින් සනාථ විය. ෂෙරීගේ උප්පැන්න සහතිකයෙහි ඇගේ මවගේ නම "ඩිංගිරි මැණිකා" යනුවෙන් සඳහන්ව තිබුණද එය ඩිංගිරි අම්මා යන නම සමඟ ගැළපෙන බවද සනාථ විය.

ප්‍රමෝදයට පත් ෂෙරී වසර විසි හයකට පසු ශ්‍රී ලංකාවට පැමිණ ඇගේ මව දැක බලා ගැනීමට සූදානම් වෙයි. ශ්‍රී ලංකාවෙහි උපත ලැබූ නමුත් ෂෙරී හැදී වැඩුණේ අයර්ලන්ත කාන්තාවක වශයෙනි. ඇගේ ජන්මය පිළිබඳවත් මව මුණ ගැසුණු විට ඇගේ සංස්කෘතියෙහි වෙනසක් සිදුවේද යන්න ගැනත් විමසූ විට ඇය මෙසේ ප්‍රතිචාර දක්වයි.

මම හරිම වාසනාවන්තයි! මම ශ්‍රී ලංකා ජන්මය ඇති අයර්ලන්ත කාන්තාවක්. මා හදා වඩා ගැනීමට අයර්ලන්ත යුවළක් වෙහෙස නොබලා කටයුතු කර තිබෙනවා. කෙනකුගේ අනන්‍යතාව ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම නිර්මාණය වන දෙයක්. ඒ නිසා මගේ මව මුණ ගැසුණු විට එයින්ද යමක් මගේ අනන්‍යතාවට එකතු වෙයි. මම අයර්ලන්ත කාන්තාවක වීම ගැන මෙන්ම ශ්‍රී ලාංකික ජන්මයක් ඇති කෙනකු වීම ගැනද එක සේ ආඩම්බර වෙනවා.

අයර්ලන්තයෙහි හැදී වැඩුණු ෂෙරීගේ මුළු ජීවිතයම ඒ සංස්කෘතිය සමඟ තරයේ මුසු වූවකි. අයර්ලන්ත සංස්කෘතිය හා සම්ප්‍රදාය ශ්‍රී ලංකා සංස්කෘතියට බෙහෙවින්ම සමාන යැයිද ආහාර පාන, නැටුම් ගැයුම් හා පවුල යන සංස්කෘතික අංගවලට අදාළ සම්ප්‍රදාය අතින් දෙරට අතර බොහෝ සමානකම් ඇතැයිද ෂෙරී ප්‍රකාශ කරයි. ඒ නිසා ශ්‍රී ලංකා සම්ප්‍රදාය හා උරුමය ගැනද ආඩම්බර වන ෂෙරී වසර විසි හයකට පසු ඇගේ ජන්ම භූමිය ගැන වැඩි යමක් ඉගෙනීමටද ඇය බලාපොරොත්තු වෙයි.

ඇය මෙසේද ප්‍රකාශ කරයි. අපේ මධුසමය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මම මා උපන් රට ගැන යමක් ඉගෙන ගත්තා. ඒත් මා උපන් රටේ හැදී වැඩීමත් එහි ජීවත් වීමත් කෙබඳුද යන කාරණය මා බිහිකළ අම්මාගෙන් හා සහෝදරියන්ගෙන් දැන ගැනීමට මම කැමැතියි. එම සංස්කෘතිය හා සම්ප්‍රදාය පිළිබඳ කරුණු, ඒ අත්දැකීම ජීවිත කාලය පුරා ලැබූ කෙනකුගෙන්ම දැන ගන්නට ලැබීම අසාමාන්‍ය අත්දැකීමක් බවද ෂෙරී සඳහන් කරයි.

අවුරුදු විසි හයක් තිස්සේ එකිනෙකා නොදැක සිටි මවක හා දුවක එක්වීම අපූර්ව දෘෂ්ටාන්තයක් බඳු සිද්ධියකි. විදේශිකයන්ට බිලිඳු වියේදීම භාර දෙන ලද බොහෝ දරුවන්ට යළි කවදාවත් ඔවුන්ගේ මවුපියන් දැක ගත හැකි නොවේ. පැරැණි නිසා රූපයකින් ඩිංගිරි අම්මා හඳුනා ගැනීම විස්මිත සිද්ධියකි.

ශානි අශෝකන්
පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්